Thursday, November 06, 2025
Follow Us
වරායේ සේවකයකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ හැත්තෑඑක්දහස ඉක්මවයි

වරායේ සේවකයකු රුපියල් එක්ලක්ෂ හැත්තෑඑක්දහස ඉක්ම වූ වැටුපක් ලබා ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවැසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

ඊට අමතරව සාමාන්‍ය රාජ්‍ය සේවකයකු නොලබන වරප්‍රසාද, විශාල බෝනස් එකක්, තුන්වේලටම කෑම මෙන්ම විවිධ සහන රාශියක් ලැබෙනවා. වරායේ සේවකයන් වර්ජනයේ නියැළී සිටින්නේ සිය වැටුපෙන් බදු අයකර නොගන්නා ලෙස ඉල්ලා මිස වෙනත් දෙයක් වෙනුවෙන් නොවේ.

පසුගියදා සිදුකළ වර්ජනය නිසා මෙරට පැමිණීමට නියමිතව තිබූ නැව් 17ක් නැවත හැරී ගියා. ඉන් අපේ වරාය කඩා වැටී සිංගප්පූරුව, ඩුබායි, ඉන්දියාව පෝෂණය වෙනවා. වරායේ ටර්මිනල් දෙකක් පෞද්ගලික අංශයට දීමෙන් යම් ආදායමක් ලැබෙනවා. මේ වන විට වරාය රුපියල් බිලියන 15ක් ලාභයක් හිමිකරගෙන තිබෙනවා.

සේවකයෝ උද්ඝෝෂණය කරන්නේ ඔබ ඔය කියන දේවල් මූලික කරගෙන නොවෙයි. සේවක උද්ඝෝෂණය කරන්නේ බදු කපන එකට. ඒ ගැන මම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පැවැත්වූවා. ඔවුන්ට මම පැහැදිලිව කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව ගත්ත තීන්දු වෙනස් කරන්න බැහැ කියලා.