Thursday, November 06, 2025
Follow Us
රට වෙනුවෙන් ගත් තීරණ නිසා බහුතරයක් පොහොට්ටුව වැළඳ ගත්තා

රට වෙනුවෙන් පක්ෂයක් ලෙස ගෙන ගිය ප්‍රතිපත්තිමය සටන අනුමත කරමින් බහුතරයක් දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැළඳ ගත් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

"මේ රටේ ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා එක්රොක් වූණේ එහි තිබූ ආකර්ෂණීය නායකත්වය නිසාම නොව රට වෙනුවෙන් දුන් ප්‍රතිපත්ති මාලාව නිසයි. ජාතික ආර්ථිකයක් ගොඩනැංවීමට ජාතික අනන්‍යතාව වෙනුවෙන් පක්ෂයක් හැටියට කටයුතු කර තිබෙනවා.

අපේ පක්ෂය ඉතා කෙටි කාලයකින් ජනතාව ආදරයෙන් වැළඳ ගත් පක්ෂයක්. ඒත් අවුරුදු පනස් ගණන්, හැට ගණන් දේශපාලනය කර ජනතා ආකර්ෂණය දිනා ගන්න නොහැකි වූ පක්ෂ කිහිපයක් නොයෙක් නොයෙක් ආකාරයට අපට පහර දෙන්න ගත්තා. පොහොට්ටුවෙන් දේශපාලනය කළ ප්‍රාදේශීය නායකයන්ට පහරදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කර, ඔවුන්ට තර්ජනය කර, මන්ත්‍රීවරයෙක් ඝාතනය කර මහා ත්‍රස්තවාදයක් වපුරා අප නිශ්ශබ්ද කරන්න හැදුවා.

කිසිම පදනමක් නැතිව අපගේ නායකයන්ට හොරු කියා චෝදනා කරන්න පටන් ගත්තා. පක්ෂයක් වශයෙන් අපි මෙයට දැඩිව මුහුණ දෙන්න තීරණය කළා. ඒ අනුව පසුගිය දවස්වල අපි ඉතා සාර්ථකව මුහුණ දුන්නා."

Dinamina