Friday, November 07, 2025
Follow Us
අත්‍යාවශ්‍ය මහජන සේවා පනතක් ඉදිරිපත් කළ හේතුව ඇමැති කියයි

ඇතැම් වෘත්තිය සමිති සහ කණ්ඩායම් ජනතාවට අඛණ්ඩව සේවා සැපයීමෙන් ඉවත් වීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙන්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදු වූ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් බලශකත් අමාත්‍යවරයා පැවසුවේ, මැතිවරණ කොමිෂන් සභාව හදිසියේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලීම් කළත් ඒ සඳහා පහසුකම් සැපයිය නොහැකි බවයි. ඉන්ධන ඇණවුම් කිරීම සඳහා යම් කිසි කාලයක් ගත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , සංචිත ගොඩ නගා ඩොලර් මුදල් සොයා ගත් පසු ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයිය හැකි බව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයෝ 80,000ක් සිටින බවත්, ඒ සෑම අපේක්ෂකයෙක්ම තමාගේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලුවත් එය ඉටු කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

" මේ රටේ අඛණ්ඩව විදුලිය දෙන්න බැරිනම් සමහරු කැමතියි. ඉංජිනේරු සංගමය බෝනස් ඉල්ලනවා. අතිකාල දීමනා ඉල්ලනවා.එහෙම දුන්නෙ නැති වුණාම පාරට බහිනවා කියනවා. විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට ප්‍රසාද දීමනා, වරප්‍රසාද දෙන්න නොවෙයි. අපේ වියදම පියවා ගන්න. මණ්ඩලයේ පාඩුව ජනතාව මත පටවන්න බැහැ."