Friday, November 07, 2025
Follow Us
සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයන්තයට පනතක්

මෙවැනි අර්බුදයක් රට තුළ යළි ඇති වීම වැළැක්වීමට කටයුතු කරන බවත් ඒ අරමුණින් දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන අතර ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසියේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

"අද ලංකාව ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩෙක්. වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. ඒත් සමහරු කරන්නේ මෙතෙක් ප්‍රතිකාර කළ දොස්තරලාගේ වැරදි කියන එකයි. ඔවුන්ට දඬුවම් දීමට මුල් තැන දිය යුතු බවයි ඔවුන් කියන්නේ.
නමුත් මම උත්සාහ ගන්නේ මුලින්ම ලෙඩා සනීප කර ගැනීමටයි. ලෙඩා සනීප කරගත්තාට පස්සෙ අපට අනෙක් පියවර ගන්න පුළුවන්. ඒත් අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ ලෙඩා සනීප කර ගැනීමටයි. මම මේ සිදුකරන්නේ ඒ කාර්යයයි.
හැබැයි ලෙඩා අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩගත් වහාම අප තවත් පියවරක් ගන්නවා. ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇති වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීම. මේ අරමුණින් අප දූෂණය මැඩලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කරන්න අපි පියවර ගන්නවා.
අයි.එම්.එෆ් එකඟත්වය ලැබීමෙන් අපට ආර්ථිකය යම් මට්ටමක ස්ථාවර පදනමකට ගෙන එන්න පුළුවන් වෙනවා. ඒත් ලෙඩේ නිට්ටාවටම සනීප කර ගන්න නම්, අපට තවත් ඉදිරි පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා.
අයි.එම්.එෆ් සහතිකය ලැබීමත් සමඟ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ණය ආධාර ලබා ගැනීම සම්බන්ධ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්.
එවිට ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වේවි. ඒ නිසා විදේශ විනිමය රටට ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති වේවි. අපි ඒ ආධාර මුදල් නිසි කළමනාකරණයකින් යුතුව රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළ යුතුයි.
මේ සමඟම සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් අපට ලබා ගන්න පුළුවන්. අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කරන්නත් පුළුවන්.
ඒ වගේම අපේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි. කාලයක් තිස්සේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ අප අතපසු කළා. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර ජනතාව පිට පැටෙව්වා. ගිය අවුරුද්දේ ව්‍යාපාරික රාජ්‍ය ආයතනවල පාඩුව රුපියල් බිලියන 800කට ආසන්නයි. ඒ මුළු පාඩුවම ගෙවන්නේ ජනතාව. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඒ පාඩුව ජනතාව ගෙවනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර දරන්නේ තමන් බව දන්නේ නැහැ. අන්ත අසරණ දිළින්දාට පවා මේ ආයතන නඩත්තු කරන්න වියදමක් දරන්න වෙලා තියෙනවා.
ඒ නිසා අපි වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. එවැනි පියවර ගත් තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් අද දවසින් දවස ඉදිරියට යනවා. නැති නම් අපට නැවත ආපස්සට යන්න වෙනවා."