Friday, November 29, 2024
Follow Us
ජනපති මෛත්‍රී තවමත් වැට උඩ

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කරන්නේ කුමන පාර්ශ්වයටද යන්න පිළිබඳ අවසන් තීරණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් පැමිණ නොමැති බව වාර්තා වේ.

පෙරේදා (05) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ වෙනත් පාර්ශ්වයක් සමඟ සන්ධානගත වීම සම්බන්ධ අවසන් තීන්දුව ගැනීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමටය.

එසේ ජනාධිපතිවරයා ගන්නා තීන්දුව ඊයේ (06) මධ්‍යහ්නය වනවිට ප්‍රකාශයට පත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් පවා කැඳවා තිබුණු නමුත් පසුව එය ද අවලංගු කරන ලදී.

ජනාධිපතිවරයා ඊයේ පස්වරුව වනවිටත් දෙපාර්ශ්වය සමඟම සාකච්ඡා පවත්වා තිබුණු අතර ඔහුගේ අවසන් තීරණය ප්‍රමාද වීමට හේතුව ලෙස සැලකෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයෝජනාව සම්බන්ධයෙන් අද දිනයේ එල්ල වීමට නියමිත විරෝධතාවන්ය.

එහි අවසානය කුමක්වේද යන්නත් සලකා බලා ජනාධිපතිවරයා ශ්‍රීලනිපය සම්බන්ධ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)