Friday, November 29, 2024
Follow Us
ගෝඨාට හෙටත් බාධා එතැයි මහින්ද සැකයෙන්. චමල් ගැන තීරණය අනිද්දා

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් විභාගයන් ඔහු ජයග්‍රහණය කළත් හෙට (06) එනම් ඉරිදා දිනයේත් ඔහුගේ අපේක්ෂකත්වයට බාධා එල්ල වන යමක් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (04) කලාකරුවන් පිරිසක් සමඟ විජේරාම නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේ ද ඒ හේතුවෙන් බවයි.

"අපට හදිසියක් වුණා නම් අපි ඕනෙ වෙලාවක දෙවනි පියවරටත් ගිහිල්ලානෙ තියෙන්නෙ. අපි බොහොම කල්පනාකාරීව ඒකත් කළා. අධිකරණය මොන තීන්දු දෙනවද කියන්න බෑ. අධිකරණයේ තීන්දුව මොන පැත්තට ගියත් ජනතාව අනාථ කරන්නෙ නෑ, අපි ඒ සටනෙ ඉන්නවා. ඉතිං ඒකට අපේක්ෂකයෙක් ඇප බැඳලා තිබුණා, මොකද මේ ඉරිදා දවසේ යම්කිසි ආපහු ප්‍රශ්නයක් ඇති කරයි කියන අවිශ්වාසෙට" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇප මුදල් තැන්පත් කර ඇතත් චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නාමයෝජනා භාර දෙන්නේද නැද්ද යන්න පිළිබඳව සඳුදා (07) දිනයේදී ම තීරණයකට එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාකරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)