Friday, November 29, 2024
Follow Us
ශ්‍රීලනිපයේ සහාය ගන්න ලකුණ වෙනස් කරන්න උනත් මහින්ද සූදානම් !

මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා පැවැත්වුවද ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ‍ගොඩනැගීමට නොහැකි විය. ඊට බලපෑ ප්‍රධානතම හේතුව ශ්‍රීලනිපය විසින් පොදු ලකුණක් යටතේ සන්ධානගත වියයුතු බව යෝජනා කිරීමයි.

පොදුජන‍ පෙරමුණේ බහුතරයක් පොහොට්ටුව වෙනස් කිරීමට අකමැත්ත ප්‍රකාශ කරන අතර එහෙත් ශ්‍රීලනිපය පවසන්නේ පො‍හොට්ටුව ලකුණින් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට කිසිසේත්ම එකඟ විය ‍නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ දෙක අතර කරට කර සටනක් බවත් පත්ව තිබේ. පොහොට්ටු පාක්ෂිකයන් කුමන මතයක් දැරුවද ශ්‍රීලනිප‍යේ සහාය ලබා ගැනීමට ඕනෑම කැපකිරීමක් සිදු කිරීමට ‍මේ වනවිට මහින්ද-බැසිල් ඇතුළු රාජපක්ෂ පවුල සූදානම්ව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමැති අලුත් පක්ෂයකින් චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළේද එම අරමුණ ඇතිවයි.

මේ වනවිට පොදුජන පෙරමුණේ නම වෙනස් කර මීට පෙර 90 දශකයේදී ශ්‍රීලනිපය භාවිතා කළ පොදුජන එක්සත් පෙරමුණ යටතේ සන්ධානගත වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහින්දලා මේ වනවිට සොයා බලමින් සිටී. පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වීම සඳහා සූදානම් බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් ඇප තැන්පත් කර තිබේ. ඒ අනුව එසේ ඇප තැනපත් කිරීමෙන් පසුව පක්ෂයේ නම හා ලාංඡනය වෙනස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීති උපදෙස් ගනිමින් සිටින බව ද පොදුජන පෙරමුණේ ලේකම්වරයා ජනාධිපතිවරය වෙත දන්වා තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපයේ ඉල්ලීම්වලට එකඟ වියහැකි බැවින් ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සන්ධානය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට දිනයක් ලබාදෙන ලෙස ද සාගර සේනාරත්න මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය කාලයේදී ශ්‍රීලනිපය හා ජනාධිපතිවරයා ගණන් නොගන්නා තත්වයක සිට රාජපක්ෂලාට දැන් ශ්‍රීලනිප ඡන්ද කුට්ටියේ වටිනාකම හොඳින්ම දැනී තිබේ. පසුගිය දිනවලදී මහින්ද-බැසිල්-ගෝඨා තුන් බෑයන්ම ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා සඳහා එක්වූයේ එබැවිනි.

(LNW)