Friday, November 29, 2024
Follow Us
ඡන්ද පෙළට කඩා ගනිමින් සජිත් ප්‍රේමදාස ශ්‍රී මුඛය අරී !

තමන්ගේ ශ්‍රී මුඛයෙන් පිට කරන්නේ වටිනා වචන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ජාතික සේවක සංගමයේ රැස්වීමක් අමතමිනි සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ.

"හොඳට මතක තියාගන්න, 16 වෙනිදා මේ මැතිවරණයෙන් නිර්මාණය වෙන්නෙ අපේකම, රටේකම, සභ්‍යත්වය, සංස්කෘතිය රජයන යුගයයි කියලා මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වෙන කාගෙවත් මුඛයකින් නෙවෙයි මේ වචන ඉදිරිපත් කරන්නෙ. මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිටවුණේ කියන එක මම කියන්න කැමතියි" යනුවෙන් ඒ මහතා පැවසීය.

මෙය සරල විහිළුවක් ලෙස නොසලකා හැරිය නොහැක්කේ සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වන්නේ ප්‍රේමදාස යුගයක් යළි බිහිකිරීමට නිසාය. ප්‍රේමදාස යුගය යනු රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය දැරූ යුගයයි. ඒ යුගයේ ඔහු වන්දිභට්ටයින් ලවා තමන්ව හඳුන්වා ගත්තේ "ශ්‍රීමත්" යන පදයෙනි. ජනාධිපති තනතුර යනු ජනතාව විසින් වන්දනා මාන කළ යුතු තනතුරක් බව ඔහු සිතා සිටි බවත් පැරණි රජෙකු මෙන් තනතුරේ ගෞරවය ලබන්නට ඔහුට වුවමනා වූ බවත් ඒ යුගය දන්නා අයට අමතක නැත.

ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් පවා මෙකී රාජකීය ඌෂ්ණය සහිතව ඒ යුගයේ හැසිරුණු ආකාරය පිළිබඳ ඕනෑ තරම් කතා අදටත් ජනවහරේ තිබේ. අපේක්ෂකත්වය ලද සැණින් සජිත්ගේ මුඛය සජිත්ටම "ශ්‍රී මුඛය" වීම සරල කරුණක් නොවන්නේ මේ නිසාය.

රජ පවුලකැයි සිතාගෙන රට පාලනය කළ රාජපක්ෂ පවුලෙන් රටේ ජනතාව ඕනෑ තරම් පීඩා විඳ ඇත. එහෙයින් නැවතත් ශ්‍රීමතුන් ශ්‍රී මුඛවලින් කරන දේශනා ජනතාවට අවශ්‍ය නැත. අනෙක් අතට තමන් සිටින්නේ ජනතාව අතර බවත් තමන්ට මන්දිර වුවමනා නැති බවත් ජනතාව අතර නැතිනම් තමන්ට ලෙඩ හැදෙන බවත් කියනා අතරේම තමන්ගේ කට ශ්‍රී මුඛය ලෙස හඳුන්වා ගැනීම පරස්පර බවවත් සජිත්ට තේරෙන්නේ නැත.

සමාජ පසුගාමීත්වය ඇවිස්සීමෙන් සමාජයක් ලෙස ජයග්‍රහණ අත්පත් කරගත නොහැකි බව සජිත් නොදන්නා බව ඇත්තය. එහෙත් ඔහු සමීපයේ අද සිටින න්‍යායාචාර්යවරුන් මේවා ගැන හොඳින්ම දනී.

එහෙයින් ශ්‍රී මුඛය පරෙස්සම් කරගතහොත් ඡන්ද රැකගැනීමටත් හැකි බව ඔවුන්වත් සජිත්ට කියා දෙනවා නම් හොඳය.

(LNW)