Tuesday, April 16, 2024
Follow Us
රටේ සම්පත් විකුණන්න ඉඩ දෙන්නෑ – විපක්ෂ නායක සජිත්

පොහොට්ටුවේ අතකොලුවක් වූ වත්මන් ජනාධිපතිවරයාගේ විසඳුම වන්නේ අලාභ ලබන මෙන් ම ලාභ ලබන ආයතන ද විකිණීම බවත් ඒ සඳහා සමගි ජන බලවේගය කිසිඳු අවස්ථාවක ඉඩ නොදෙන බවත් මේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ සැබෑ දේශප්‍රේමීත්වයක් වුවත් වත්මන් රජය සිදු කරන්නේ රටේ සම්පත් කුණු කොල්ලයට විදෙස් රටවලට විකිණීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල වැඩි වීම, ණය පොලී අනුපාත වැඩි වීම නිසා මේ රටේ වෙළෙඳුන්, ස්වයංරැකියා ලාභීන් පවා අසරණ වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් මත වුවත් වත්මන් රජය මේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට රටේ ආර්ථිකය කුඩා කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය. සෑම අතකින්ම මේ රටේ ජනතාවට පහර ගසමින් මේ රජය තව තවත් ඇමතිධුර පත් කිරීමට සූදානම් බවත් එය රාජපක්ෂ පවුලේ නියෝග බැවින් ඒ සඳහා එරෙහි වී ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයක් ඉල්ලා සිටීම ජනතාවගේ අයිතියක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.

ජයග්‍රහණය උදෙසා ශක්තිමත් විය යුත්තේ, සන්නද්ධ විය යුත්තේ ජනතාවගේ සවියෙන් බවත් ජනමතයට හිස නවා ජනතා අදහස්වලට සවන් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අපේ රටේ සංවර්ධන සැලසුම් සකස් කරන්නේ කිසියම් පක්ෂයක් බලයට පැමිණි පසු වුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රටේ ඉදිරි සංවර්ධනයට අදාළ සැලසුම් සකස් කර ඇති බවත් බිම් මට්ටමේ සිට එම සැලසුම් සකස් කර ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ දේශපාලනය රිමෝට් කොන්ට්‍රෝල් දේශපාලනය හෝ නියෝජිත දේශපාලනය නොවන බවත් ජනතාව අතර සෘජු සම්බන්ධයක් ගොඩනගමින් ජනතා දුක, ප්‍රශ්න තේරුම් ගන්නා ජනතා සජීවීකරණයට ලක් වූ දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන බවත් පොදු ජනතාවගේ හයියෙන් ශක්තිය ලබන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රට බංකොලොත් වී, ජන ජීවිත කඩා වැටී ඇති අවස්ථාවක රට ගොඩනැගීමට අවශ්‍ය කයියාරුව හෝ ඕපාදූප නොවන බවත් දත්ත මත පදනම් වූ විසඳුම් බවත් ඒ සඳහා සමගි ජන බලවේගය නිරන්තරයෙන් සූදානම් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ සිට ජනතාව අන්දවමින්, මංමුලා කිරීම නිසා ලක්ෂ 220ක් වූ ජනතාව දුක් විදින නමුත් රට විනාශ කළ පවුල සුරසැප විඳිමින් සිටින බව යි.

ඔවුන් මේ වන විට තමන්ට හිතෛශී පුද්ගලයෙක් ජනාධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් දශලක්ෂ ගණනින් ජනතාව අරගල කරමින් ඉල්ලා සිටි වෙනස මෙය නොවන බවත් ඔවුන් රාජපක්ෂ පවුල රකින ආණ්ඩුවක් ඉල්ලා නොසිටියත් මේ ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ ජනතාව රකිනවා වෙනුවට රාජපක්ෂ පවුල රැකීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.

 

LNW