Friday, November 29, 2024
Follow Us
ගෝඨාගේ පුරවැසිකම අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයාමට ඉල්ලීමක් !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයෙහි ගොනුකර ඇති, දැනට විභාග වන රීට් පෙත්සමට අදාළව නීතිය අර්ථදැක්වීම සඳහා එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් සූදානමින් සිටින බව වාර්තා වේ.

මීට පෙර ගෝඨාගේ නඩුවලදී ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම මෙම නඩුව ද හැකිතාක් ප්‍රමාද කිරීම සඳහා හැකි උපරිම උත්සාහ දැරීමට ඔවුහු කටයුතු කරමින් සිටිති.

ඒ අනුව, ඊයේ (02) දිනයේදී පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීම මූලික විරෝධතාවක් මතු කරමින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වූයේ ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලිපිගොනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බැවින් එම ලේඛන නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාම තම සේවාදායකයාට දැඩි අගතිසහගත බවය.

එසේම මෙම නඩුවට අදාළ කරුණු සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි පරීක්ෂණයක් පැවැත්වෙන හෙයින් සහ එම පරීක්ෂණය තවමත් අවසන් කර නොමැති හෙයින් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධතාවක් ද ඒ මහතා විසින්ම ගොනු කරන ලදී.

එහෙත් විනිසුරු මඬුල්ල තීරණය කළේ විරෝධතා පසුව සලකා බැලීමට තබා පෙත්සම්කාර පාර්ශ්වයට කරුණු දැක්වීමට ඉඩ දීමටය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කර ඇති ද්විත්ව පුරවැසි සහතිකයේ නීතිමය බලාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න කිරීමක් ඊයේ දිනයේදී සිදු කෙරුණු බැවින් එයම පදනම් කරගනිමින් මෙම නඩුවට අදාළව නීතිය අර්ථනිරූපනය කිරීම සඳහා එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටීමට ඔහුගේ නීතීඥවරුන් සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

නීතිය අර්ථනිරූපනය කිරීමේ හැකියාව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක්ම වන අතර ඊට ද පූර්ණ විනිසුරු මඬුල්ලක් අවශ්‍යය. ඊට යම් කාලයක් ගතවන බැවින් ජනාධිපතිවරණයෙන් එපිට දිනයක් කරා නඩුව ඇද ගැනීම ගෝඨාගේ නීතීඥවරුන්ගේ එකම අධිෂ්ඨානය වී තිබේ.

(LNW)