Thursday, March 28, 2024
Follow Us
සනත් නිශාන්තට සිතාසි නිකුත් කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් අද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කළා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදුකළා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අගෝස්තු මස 23 වන දා ප්‍රකාශයක් සිදුකළ වග උත්තරකාර නිශාන්ත මහතා මහේස්ත්‍රාත්වරුන්ගේ ඇප ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කර ඇතැයි සදහන් කළා.

ඇප ලබාදීමේ ක්‍රියාවලිය නිසා නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙන බවට ඔහු විසින් අවධාරණය කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙය අධිකරණයට සිදුකළ බරපතළ අපහාසයක් බවත් අවධාරණය කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සෑහීමකට පත්වූ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර සනත් නිශාන්ත මහතාට ඔක්තෝම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළා.

එම චෝදනාව සම්බන්ධයෙන්ම තවත් නීතිඥවරු දෙදෙනෙකු විසින් ගොනුකළ පෙත්සම් දෙකක්ද ඔක්තෝබර් මස 13 වනදා කැඳවීමට නියමිත අතර එම පෙත්සම් වලට අදාළව ද සනත් නිශාන්ත මහතාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් දැනටමත් සිතාසි නිකුත් කර තිබෙනවා.

Neth