Thursday, April 25, 2024
Follow Us
මුස්ලිම් දේවස්ථාන දිගින් දිගටම සෝදිසි කිරීම බරපතළ ප්‍රශ්නයක් - අසාද් සාලි

ආරක්ෂක අංශ විසින් මුස්ලිම් දේවස්ථාන තුළ දිගින් දිගටම සෝදිසි කටයුතු සිදු කිරීම බරපතළ ප්‍රශ්නයක්වී ඇති බවත් තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේදී කතා කිරීමට බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

එකම පල්ලිය හත්වතාවක් සෝදිසි කළ අවස්ථා ද තිබෙන බව පැවසූ ඒ මහතා සෝදිසි කිරීම්වලින් පසු පල්ලි විනාශ වී ගන්න දෙයක් නැති තත්වයට පත්ව ඇති බවයි ප්‍රකාශ කළේ.

"දැන් එකම පල්ලියට හත් පාරක් යනවා. මොන ඉලව්වටද ඔච්චර යන්නෙ ? හත් පාරක්, අට පාරක් ගිහිල්ලා පල්ලියෙ විනාශ වෙලා කියන්නෙ ගන්ඩ දෙයක් නෑ. ඒනිසා ආරක්ෂක මණ්ඩලයෙදි මම කතා කරන්න යන්නෙ. අනිවාර්යයෙන්ම අද කතා කරනවා මේවා. මේවගේ තත්වයක් ඇති වෙන්න බෑ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

සෝදිසි කිරීම් කතාව කෙසේවෙතත් රටේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවට අසාද් සාලි මහතා සම්බන්ධ වෙන්නේ කෙසේද යන බරපතළ ප්‍රශ්නය අප හමුවේ තිබේ. රටේ ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගන්නා ඉහළම ස්ථානය වන ආරක්ෂක මණ්ඩලය යනු ජනාධිපති, අගමැති, ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු ඉහළම ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත වන මණ්ඩලයකි.

ජාතික ආරක්ෂාව සම්බන්ධ ඉහළම තීන්දු ගන්නා, රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා විය යුතු එවන් තැනකට හුදු පළාත් ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි මහතා සහභාගී වීම යනුම දැඩි ප්‍රශ්නකාරී තත්වයකි.

(LNW)