Friday, January 09, 2026
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධුරයකට සූදානම් – කුමාර වෙල්ගම

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සම්බන්ධවීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. රට මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා වඩාත් සුදුසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවත්, සියලුදෙනාම එකට එක් වී අර්බුදවලට විසඳුම් සෙවීම වඩාත් ප්‍රායෝගික බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ ඇමති ධුරයක් බාර ගැනීමට සූදානම් බවයි අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙල්ගම මහතා සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

LNW