පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි ගාණ වැදගත් නෑ
නව පාර්ලිමේන්තු සැසියත් සමග පාර්ලිමේන්තුවේ යම් යම් වෙනස්කම් වීමට නියමිතයි. මේ පාර්ලිමේන්තුව ඇතුළෙ විපක්ෂයේ කාර්යභාරය සම්බන්ධයෙන් මොනවගේ වැඩපිළිවෙළක්ද තියෙන්නේ…?
මේ රටේ මූලික දේශපාලන, ආර්ථික, සමාජයීය අරගලය විසඳාගැනීමට විපක්ෂයේ ඉඳන් උදව් කරන්න අපි ලෑස්තියි. එතැනදි අපි ආණ්ඩුවේ කොටස්කාරයො වෙන්නෙ නෑ. නමුත් විපක්ෂයේ ඉඳන් ඉටුකරන්න පුළුවන් වගකීම් ගණනාවක් තියෙනව. විශේෂයෙන්ම මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු නිසා එහි වගකීම භාරගෙන ක්‍රියාකරන්න සූදානම් කියල අපි දැනටමත් ප්‍රසිද්ධියෙ කියල තියෙනව. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙ ආන්තික කාරක සභාවල නායකත්වය ගැනීම, පාර්ලිමේන්තුවේ තියෙන කෝපා සහ කෝප් කමිටුවල නායකත්වය ගැනීම වගේ දේවලින් අපට යහපාලනයක් සඳහා වූ වැඩපිළිවෙළකට දායකත්වය දක්වන්න පුළුවන්. එතනින් එහාට අපි කල්පනා කරන්නෙ විපක්ෂයේ කාර්යභාරය අපි ඉටුකළ යුතුයි කියලයි.
මේ පාර්ලිමේන්තුවෙ තවමත් බහුතර බලය තියෙන්නෙ පොහොට්ටුව අතේ. ජනාධිපතිවරයා පත්කිරීමේ පාර්ලිමේන්තු ඡන්දයෙදි, හදිසි නීතිය සම්මත වූ අවස්ථාවෙදි අපි ඒක දැක්ක. එහෙම වාතාවරණයක් තුළ විපක්ෂයට මේ පාර්ලිමේන්තුවට බලපෑමක් කළ හැකියි කියල හිතනවද?
ජනාධිපතිවරය වගේම වත්මන් ආණ්ඩුවත් දැන සිටිය යුතුයි මහජන මතය මොකක්ද කියල. පාර්ලිමේන්තුව නියෝජනය කරන මතය සහ බිම් මට්ටමේ ජනතාව අතර ලොකු පරස්පරයක් තියෙනව. දැන් ජනාධිපතිවරය පත්කර ගැනීමෙදි බිම් මට්ටමේ ජනතාව හිටියෙ රනිල් වික්‍රමසිංහ මහතා ගෙදරයා යුතුයි කියන තැන. හැබැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතා තෝරගත්ත. එය ජනතා මතය නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට තවදුරටත් හිතුවක්කාරී විදිහට වැඩකරන්න බෑ. එහෙම වුණොත් ඒක ජනතාව පිළිගන්නෙ නෑ. ඒක තවත් අරගලයකට හේතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනව අණපනත් ගේද්දි එය ජනතා යහපත උදෙසා විය යුතුයි. නීතිරීති ජනතා සුබසිද්ධිය සඳහා විය යුතුයි. එහෙම නැතිවුණොත් රට අවුලකට පත්වේයි. අපේ යුතුකම තමයි එය වැළැක්වීමට කටයුතු කිරීම. එය අපි උපරිම විදිහට කරනව. පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි ගාණ වැදගත් නෑ. රටේ ජනමතයයි වැදගත්වෙන්නෙ.
ඔබ කියන්නෙ පාර්ලිමේන්තුවෙ විපක්ෂයේ බලයට වඩා මේ වෙලාවෙ එළියෙ තියෙන ජනමතය ප්‍රබලයි කියලද?
ඇත්ත වශයෙන්ම ඉතාමත් ප්‍රබලයි එළියෙ තියෙන ජනමතය. ඒක අරගලයෙන් අපට තේරුණානේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක්, හැටනම ලක්ෂයක ඡන්ද ලබාගත්ත ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් ගෙදර යවන්න පුළුවන් වුණේ ජනබලයට. ඒ නිසා ඒක සැහැල්ලුවෙන් සලකන්න බෑ.
එතැනදි අරගලකරුවන් යෝජනා කරන මහජන කොමිසම ගැන මොනවගේ ස්ථාවරයකද ඉන්නේ…
ඒක ඉතාමත් හොඳ දෙයක්. අපි එය ව්‍යවස්ථානුකූලව ඇතිකිරීමේ වගකීම අනාගතයට පැවරෙනව. අපි දැනටමත් සමගි ජන බලවේගය හැටියටත්, සමගි ජන සන්ධානය හැටියටත් ‘මහජන සභාව’ කියල වැඩපිළිවෙළක් ආරම්භ කරල තියෙනව. විවිධ ක්ෂේත්‍රවල කණ්ඩායම් සති පතා සෑම අඟහරුවාදාවකම පස්වරු 2.00ට විපක්ෂ නායක කාර්යාලයෙදි මේ මහජන සභාව රැස්වෙනව. ව්‍යවස්ථාදායකයත්, සාමාන්‍ය පුරවැසියනුත් අතර පරතරයක් තියෙනව. පුරවැසියන් දරන මතය ව්‍යවස්ථාදායකය දක්වා ගමන් කිරීමේදි අඩුපාඩු තියෙන බව තමයි අරගලකරුවන් කියන්නෙ. ඒ නිසා අපි එවැනි මැද තැනකට එන්න තමයි අපි ‘මහජන සභාව’ ඇති කළේ. විශේෂයෙන්ම අරගලකරුවන්ගෙ අදහස් උදහස්, සිවිල් සමාජයේ අදහස් උදහස් සියල්ලම අරගෙන.
අගෝස්තු 9 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙසින් අරගලකරුවන් නම් කරල තියෙනව. ඒ වගේම අරගලකරුවන්ව මේ වෙද්දි අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙනව. විපක්ෂය විදිහට මොකද ඒ ගැන හිතන්නෙ…
මේ අරගල කාලසීමාව තුළ ඔවුන්ව අපි විවිධ අවස්ථාවලදි මුණගැහුණ. ඔවුන් දුන්නු න්‍යාය පත්‍රයක් තියෙනව. ඒ කියන්නෙ අරමුණක්. මූලික වශයෙන් ඔවුන් කිව්වෙ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න කියල. ඒ වගේම වසරක් ඇතුළත මහ මැතිවරණයකට යන්න කියල. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ක්‍රියාමාර්ගය අලුත් ආණ්ඩුවකින් පටන් ගන්න කියල. ඒත් එක්කම දූෂණය, හොරකමට වැට බඳින වැඩපිළිවෙළකට එන්න කියල. හොරකම් කරපු මුදල් ටික ආපසු ලංකාවට ගෙනල්ල දෙන්න කියල. මේව ඉටුකරන්න ආණ්ඩුවක් විදිහට, ජනාධිපතිවරයා විදිහට ක්‍රියාකරන්නේ නැතිව වෙනත් මාර්ගයක ගියොත් අරගලය තවත් තීව්‍ර වෙන්න පුළුවන්. මේක එක කණ්ඩායමක හෝ කොට්ඨාසය ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලන වශයෙන් බෙදී වෙන්වෙලා කරපු සටනකුත් නෙමෙයි.
ඒත් අරගලය ඇතුළෙ යම් යම් බෙදීම් තියෙන බව පසුගිය සමයෙ වුණු සිදුවීම්වලින් පැහැදිලි වුණා. අරගලයේ ඇතැම් කොටස් මේ වෙද්දි ස්වෙච්ඡාවෙන්ම අරගල භූමියෙන් ඉවත්වෙමින් තියෙනව. අපි දකිනව පසුගිය දවස්වල ක්‍රියාකාරීව හිටපු වෘත්තීය සමිති නායකයින් පවා දැන් නිහඬව යම් යම් තනතුරු භාරගන්නව. මේ අරගලය ඇතුළෙ තියෙන දේශපාලනය විපක්ෂය දකින්නෙ කොහොමද?
අරගලය තුළ අඩුපාඩු ගොඩක් අපි දැක්ක. නමුත් ඔවුන්ට යම් පොදු අරමුණක් තිබුණ. මේ ආණ්ඩුවෙන් ජනතාව එල්ලවන පීඩාව සමනයකර ගැනීමට සිස්ටම් චේන්ජ් එකක් වෙනුවනේ පෙළ ගැහුණත් අවාසනාවකට වගේ කිසියම් වූ වැඩපිළිවෙළක් හෝ නායකත්වයක් නැති නිසා අරගලයට යම් යම් ආකාරයක බාධාවක් ඇතිවුණා. කොහොම වුණත් ජනාධිපතිවරයා පත්වූ වහාම අරගලයෙ හිටපු සමහර කණ්ඩායම් ඉවත්වෙලා තියෙන බව ඇත්ත. හැබැයි දිගටම අරගල කරමින් රට අරාජික තත්ත්වයට ගෙන යන්නත් බෑ. අරගලයේ මූලික අරමුණ ගෝඨා ගෝ හෝම් කියන දැන් සාර්ථකවෙලා තියෙනව.
සමගි ජනබලවේගය ලබන මාර්තු මාසයෙදි මැතිවරණයක් ඉල්ලා සිටියත්, ජනාධිපතිවරයා පසුගිය දිනක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී තියෙනව මේ පාර්ලිමේන්තුව 2025 දක්වා ගමන් කරනව කියල. ඇත්තටම මේ පාර්ලිමේන්තුවට එච්චර දුරක් යන්න පුළුවන්ද?
ජනතාව මේ පාර්ලිමේන්තු බලය, ජනාධිපතිවරයගෙ බලය ශූන්‍ය කරල තියෙනව. ඒක අපි පිළිගන්න ඕන. දැන් ව්‍යවස්ථාකූල තත්ත්වයන් මත නාමික ආණ්ඩුවක්, නාමික ජනාධිපතිවරයෙක් පත්වෙලා ඉන්නව. අපි ඉල්ලන්නෙත්, අරගලකරුවන් සහ සිවිල් සමාජය ඉල්ලන්නෙත් එකම කාරණයක්. ඒක තමයි වහා මැතිවරණයක් තියන්න කියල. මොකද ජනමතයක් නැතිව ආණ්ඩුවක් ගෙනියන්න බෑ. ආණ්ඩුවකට මහජන පිළිගැනීමක් තියෙන්න ඕන. ඒත් මේ ආණ්ඩුවට මහජන පිළිගැනීමක් නෑනෙ. ඒ නිසා ලබන අවුරුද්දෙ මුල් භාගයෙ මැතිවරණයක් පැවතිය යුතුයි කියල සමගි ජන සන්ධානයේ ස්ථාවරයෙ වෙනසක් නෑ.
ඒ අතරේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පසුගිය දිනක කිව්ව රට ගොඩගන්න නම් ඒකාබද්ධ වැඩපිළිවෙළකට යන්න ඕන කියල. මොකක්ද ඒ කියන ඒකාබද්ධ වැඩපිළිවෙළ…?
අපි කියන්නෙ සර්ව පාක්ෂික ආණ්ඩු හෝ ජාතික ආණ්ඩුව ලේබල් අලවල මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මේකට අත්‍යවශ්‍ය දේ තමයි සර්ව පාක්ෂික වැඩපිළිවෙළක්. හැමෝම පිළිගන්න, හැමෝම එකතු කරගත්ත ජාතික වැඩපිළිවෙළක්. එහෙම නැතිව එක එක්කෙනා මැති ඇමැතිකම් බෙදාගත්ත කියල මේ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. මොකදට ජාතික වැඩපිළිවෙළක්…? ඒ රට යළි ක්‍රමානුකූලව නිවැරැදි මාර්ගයට අවතීරණය කරවන්න. එතනදි කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළකට යා යුතුයි. අපේ ලොකුම දුර්වලකම තමයි කිසිදේකට ජාතික වැඩපිළිවෙළක් නැතිවීම. අපි ඒකට වැඩසටහනක් හදල තියෙනව. සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් වෙනුවෙන් අපි පොදු සැලසුමක් හැදුව. ඒකට සර්ව පාක්ෂික අනුමැතියකුත් ලබාගත්ත. ඒකට ආණ්ඩුව නියෝජනය කරන කොටස් පවා සහභාගි වුණා. අපි ඒ හදපු වැඩපිළිවෙළ තමයි යෝජනා කරන්නෙ. ඒක ආර්ථික වැඩපිළිවෙළක්. ඒ අනුව කොයි ආකාරයට රට ඉදිරියට යන්නෙ කියල සැලසුමක් හදල දැනටමත් ඉදිරිපත් කරල තියෙන්නෙ.
ඒ කියන්නෙ සමගි ජන සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කාරයො වෙන්න කැමති නෑ කියන එකද?
අපි සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙන්නෙ නෑ. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕන. මොකද සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙනව කියන්නෙ බොරුවක්. ඒකට හේතුව මැති ඇමැතිකම් බෙදාගෙන වරප්‍රසාද භුක්ති විඳින්න තමයි එහෙම යෝජනා එන්නෙ. එහෙම කරල මේ ආරවුල බෙදාගෙන අපි ඔක්කොම එකට වැඩකරනව කියල පෙන්නවන්න. අපි කියන්නෙ ඒක නෙමෙයි. සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් අපි හදමු.
සර්ව පාක්ෂික ආණ්ඩුවක තනතුරු ගන්න සමගි බලවේගය සූදානම් නැතිවුණත්, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියන්නෙ නම් ඉදිරියෙදි සමගි ජනබලවේගයේ ප්‍රබලයන් පිරිසක් එජාපය එක්ක එකතුවෙලා ආණ්ඩුවට සහය දෙනව කියල…
ඔය එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. ඒ වුණාට සමගි ජනබලවේගය හැටියටත් සන්ධායක් හැටියටත් අපි ශක්තිමත්ව සිටිනව. අපේ පොදු මතයක් තියෙනව. ඒක තමයි මේ වෙලාවෙ රට මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගන්න රට වෙනුවෙන් ක්‍රියාකරන්න ඕන කියන එක. ඒක කරන්නෙ අපි වරප්‍රසාද භුක්ති විඳින්න නෙමෙයි. ඔය කියන අය වරප්‍රසාද භුක්ති විඳිනව. අපේ පක්ෂය ඇතුළෙ කිසිම අර්බුදයක් නෑ. විවිධ අදහස් තියෙන අය ඕන සංවිධානයක, පක්ෂයක ඉන්නව. ඒ අදහස් උදස්වලට ගරුකරමින් තමයි අපි ඉස්සහරට යන්නෙ.
ඔබට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද සමගි ජනබලවේගයේ පිරිස එජාපයට යන්නෙ නෑ කියල….
එහෙම ගිහොත් එහෙම යන අයට දෙයියන්ගෙම පිහිටයි. මොකද ජනතා මතයට විරුද්ධව තමයි ඒ අය යන්නෙ. ජනතාව කියන්නෙ මොකක්ද කියල තේරුම්ගන්න බැරිව අමනෝඥ ක්‍රියාවල යෙදුණොත් ඔවුන් පත්වෙන තත්ත්වය ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නෑ. ජනාධිපතිවරය මහනුවර ඉඳල ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තුවෙ හැම මන්ත්‍රීවරයෙක්ටම රට වෙනුවෙන් එකතුවෙන්න කියල. හැබැයි ජනාධිපතිවරය කළ යුත්තේ ඒක නෙමෙයි. රට වෙනුවෙන් හිතල වැඩකරනව නම් දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරල එකතුවෙලා සාකච්ඡා කරල වැඩසටහනක් හදල සර්ව පාක්ෂික වැඩසටහනකට අවතීර්ණ වීම. නමුත් එක එක මන්ත්‍රිවරු බිලිබාගන්න ගියොත් ඒක නරක පූර්වාදර්ශයක් විතරක් නෙමෙයි, ඒක මේ මොහොත රට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනව.
එහෙම මන්ත්‍රිවරු බිලිබාගත්තොත් සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකකමත් අහිමිවෙයිද?
නෑ, එහෙම කිසිම ආරවුලක් නෑනෙ. ඔබ ඔය මතුකරන ආරවුල කොහෙන්ද එන්නෙ. ඒක නිර්මාණය කරන්න පුළුවන්කමක් නෑ. හැබැයි ඒ ආරවුල් ඇතිකරන්න කවුරු හරි මැදිහත්වෙනව නම් අපි කියනව මහජන බලය ප්‍රබලයි. පරිස්සමෙන් ඉන්න කියල.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්වීමත් සමග නව පාර්ලිමේන්තු සැසිය ඊයේ දිනයේ පැවැත්විණි. එම පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යභාරය ගැන සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසන දේය මේ.
Aruna