2025 යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ
වත්මන් පාර්ලිමේන්තුව එහි සම්පූර්ණ වසර පහක කාලය සම්පූර්ණ වනතුරු විසුරුවා නොහරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට සහතික වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් පෞද්ගලිකවම හමුවී මෙම සහතිකය ලබාදී ඇතැයි පැවසේ. අදාළ සාකච්ඡාවලදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේද ප්‍රධාන ඉල්ලීම්වල එක් කොන්දේසියක් වී ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය අවසන් වනතුරු එය විසුරුවා නොහැරීමයි.
වත්මන් පාර්ලිමේන්තුව තේරී පත්වන ලද්දේ 2020 අගෝස්තු 05 වැනිදා පැවති මහ මැතිවරණයෙනි. ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2025 අගෝස්තු මාසයේදීය. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතලවලට අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තු කාලයෙන් වසර දෙකහමාරක් ගතවීමෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව පවතී.
Aruna