පක්ෂයේ සියලු දෙනාට එකම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට මීට පෙර පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන තිබුණා.
එසේ තිබියදී නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර දෙකක් භාරගනු ලැබුවා. මහින්ද අමරවීර වත්මන් ආණ්ඩුවේ ද අමාත්‍ය ධූරයක ඉකුත්දා දිවුරුම් දුන්නා.
පක්ෂය කලින් ගත් තීන්දුව තවදුරටත් බලාත්මක බවත්, එලෙස අමාත්‍ය ධූර භාරගැනීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීන්දුව ගත යුත්තේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවති ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුමට ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා. එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේ තමන් සමඟ පක්ෂයේ කිහිපදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ සියලු දෙනාට එකම නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
කුමන පුද්ගලයෙක් පක්ෂයෙන් ඉවත් වුවද කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබෑමකට ලක්නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
Neth