Friday, January 02, 2026
Follow Us
අගමැති ධූරය දිනේෂ්ට ලැබෙන ලකුණු

අග්‍රාමාත්‍ය ධූරය සඳහා හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේද කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

අග්‍රාමාත්‍යවරයා විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ පැවති කැබිනට් මණ්ඩලය අහෝසි වුණා. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන්ගේ ධූර මෙන්ම බලතල ද අහිමි වනවා. මේ හේතුවෙන් අමාත්‍යවරයෙකු ලෙස තමාට ලබාදී තිබූ වාහනය යළි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාරදුන් බවයි හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ.

මෙරට 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා 21 පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ අගවිනිසුරුවරයා ඉදිරියේයි. ඉකුත්දා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම ධූරය පුරප්පාඩු වුණා. එම ධූරය සඳහා තැනැත්තෙකු තෝරාගන්නා තෙක් එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වුණා.

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේ ඡන්ද 134 ක් ලබා ගනිමින්.

මේ අතර 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමත් සමඟ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා. තමන් මෙරට ජනාධිපතිවරයා ලෙස ධූරය භාරගන්නා ලද බැවින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, එම ඉල්ලා අස්වීම අද සිට බලපැවැත්වෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් මඟින් තමන් වෙත දන්වා ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ.

ඉකුත් මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවුණා. ඒ සඳහා පත් කෙරුණේ රනිල් වික්‍රමසිංහ මහතායි.

NEth