Friday, January 02, 2026
Follow Us
ජනපතිට හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් සුභාශිංසන

දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් අප රටට අවශ්‍යයි


මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් අප රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපැතුම් එක්කරමින් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කර ඇත.

එම සුබපැතුම පහතින්.

උපුටා ගැනීම

“මෙරට 8 වන විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාගේ සුබ පැතුම් පිරිනමමි.
ඔහුට රාජ්‍ය පාලනය භාර ගැනීමට සිදු වූයේ අප රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවක දී ය.
පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ව පෙරලා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත තරුණ ක්‍රියාකාරිකයන්ගේ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනාධිපතිතුමා අමතක නොකරණු ඇතැයි මම විශ්වාස කරමි.
මේ මහා ජනතා බලවේගයේ යහපත් අපේක්ෂාව වූයේ පාලකයා තමන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරනවා වෙනුවට ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන, නීතියේ ආධිපත්‍ය, අවංක බව, යහපාලනය රජයන, පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමයි.

මෙය ඉතාමත් අසීරු කර්තව්‍යයක් බව අපි දනිමු.
සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම්, දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතුයැයි මම විශ්වාස කරමි.
ඒ සඳහා වත්මන් පාලන ක්‍රමවේද අභිබවා යමින් නව ආයතන සහ පාලන ක්‍රමවේද නිර්මාණය විය යුතු වේ.
අප ඉතිහාසයේ මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් අප රටට අවශ්‍ය ය.
මගේ දේශයේ සුබ සිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සුභාශිංසන පිරිනමමි.”
උපුටා ගැනීම අවසන්

Aruna