අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම අද සිදු වනවා. පාර්ලිමේන්තුවේ එවැනි නාමයෝජනා භාරගැනීමක් සිදු වන්නේ වසර 29 කට පසුවයි. මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු එවකට වැඩ බලන ජනාධිපති ඩී බී විජේතුංග මහතා හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා තේරී පත් වුණා. ඒ, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකවයි.
කෙසේ වෙතත් මෙවර අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව තිබෙනවා. ඒ අනුව එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයටද නවමු අත්දැකීමක් වනු ඇති.
අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාරගැනීමට පමණක් එහිදී සිදුවනවා. නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයායි.
පුරප්පාඩු වී ඇති ජනාධිපති ධූරය සඳහා තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම තමා විසින් එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා තේරී පත්වුවහොත් ජනාධිපති ධූරයේ සේවය කිරීමට එම මන්ත්‍රීවරයා කැමති බවට ලිඛිත එකඟත්වය කලින් ලබා ගත යුතු වනවා.
එම නිසා එහි පිටපතක් නාම යෝජනා භාරගනු ලබන අද දින පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දිය යුතුයි. මන්ත්‍රීවරයෙක් මහලේකම්වරයා අමතමින් තවත් මන්ත්‍රීවරයෙක්ව ජනාධිපති ධූරයට යෝජනා කළ යුතුයි. එසේ යෝජනා කරන මොහොතේ අදාල අපේක්ෂකයා සභා ගර්භයට පැමිණ සිටීමද අත්‍යාවශ්‍ය වනවා. ඉන් අනතුරුව එම යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථීර කල යුතුයි. ඒ පිළිබඳව වාද විවාද කිරීමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.
එක් මන්ත්‍රීවරයෙකුගේ පමණක් නමක් යෝජනා කර ස්ථීර කළහොත් එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා මහ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබනවා. මෙවර නම් කිහිපයක් යෝජනා කිරීමට නියමිත බැවින් හෙට දිනයේ ඡන්ද විමසීම පවත්වා ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදු කෙරෙනු ඇති. එම ඡන්ද විමසීමේදී කතානායකවරයාටද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
Neth