Friday, January 02, 2026
Follow Us
සජිත් - ඩලස් අතර පොදු එකඟතාවක් වෙනුවෙන් සාකච්ඡාවකට සූදානම් බව සජබ කියයි

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද ජනාධිපති ධූරය සඳහා තරඟ කරන බවට ඊයේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය කුමක්දැයි නෙත් නිවුස් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් විමසීමක් කළා. පොදු සම්මුතියක් ඇති කර ගැනීමට හැකි නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සමගි ජනබලවේගය සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද අද පාර්ලිමේන්තු සංකීරණයේදී රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එම පක්ෂය තීරණය කර ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට වීමට අවකාශය සැලසීම සඳහා බවත් පාර්ලිමේන්තුවේ බහුතරය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් පෙර කී අපේක්ෂාව හා ගැටෙන බැවින් සිය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙම තරඟයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කිරීම නිසා පක්ෂයේ මූලික ප්‍රතිපත්තිමය අදහසට ඇති වූ බලපෑමද සැලකිල්ලට ගෙන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කළ බවද එම නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පැවසුවේ සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වෙන බවත් එහිදී සාකච්ඡා කළ යම් තීරණයකට එළඹෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ වැඩිදුරටත් පැවසුවා.

Neth