Friday, January 02, 2026
Follow Us
අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්


කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10.00 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනිමේ විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව ජනාධිපති ධුරයේ පුරප්පාඩු ඇතිවී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.

ඒ අනුව, ජනාධිපතිධුරයේ පුරප්පාඩු පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අද පාර්ලිමේන්තුවට නිවේදනය කෙරෙනු ඇති.

කෙසේවෙතත් ඊයේ (15) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මීට පෙර පක්ෂ නායකයින් විසින් තීරණය කළ පරිදි ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නා බව කථානායකවරයා පක්ෂ නායකයින්ට දැනුම්දී තිබේ.

ලබන 19 වෙනිදා නාම යෝජනා කැඳවා ඉන් අනතුරුව 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධූරය සඳහා තෝරා ගැනීම සිදුවන බව කථානායකවරයා දැනුම්දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මෙම ක්‍රියාවලිය නෛතික ප්‍රතිපාදන අනුව කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදුකිරිම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර තිබේ.

මෙලෙස පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදුවන්නේ මෙරට ඉතිහාසයේ දෙවන වතාවටයි.

එමෙන්ම පාර්ලිමේන්තුව අවට අද ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Aruna