ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් පසුගිය 09 වනදා කොළඹදී පැවති ජනතා අරගලයට අති විශාල ජනකායක් එක්ව සිටියා.
එම විරෝධතාවයට එක්වූ ජනතාව ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ අරලියගහ මන්දිරයද අත්පත් කරගත් අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරය තුල රැදී සිටියේ නැහැ.
එදින පස්වරුවේ කතානායකවරයා විසින් නිවේදනය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි මස 13 වනදා ධූරයෙන් ඉවත් වන බව තමන්ට දැනුම්දුන් බවයි. ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහාද මේ වන විට දින නියම වී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවටයි වාර්තා පල වන්නේ. ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවටද වාර්තා පල වනවා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනෙන් නික්ම ගොස් ඇතැයි කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා, ඔහුගේ බිරිද සහ ආරක්ෂක නිලධාරියෙකු මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් එළෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව බී බී සී පුවත් සේවයද වාර්තා කර තිබුණා. එහි දැක්වුනේ හමුදා ජෙට් යානයකින් ජනාධිපතිවරයා මාලදිවයිනේ, මාලේ අගනුවර වෙත පලා ගොස් ඇති බවයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද දිවයිනෙන් පලා ගොස් ඇති බවට ආරංචි මාර්ග පවසන බව බී බී සී පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඔහු ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති බවටයි එහි දැක්වෙන්නේ.
Neth