Friday, January 02, 2026
Follow Us
මහින්ද, බැසිල් ඇතුළු පිරිසකට රට යන්න දෙන්න එපා කියයි

අධිකරණය ඉක්මනින් පෙත්සම කැඳවීමට කටයුතු කරයි


හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද(12) මෝස‍මක් ඉදිරිපත් කර තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව මෙම මෝසමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ මෝසම ගොනු කරමින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මෙම කරුණ සම්බන්ධයෙන් දැඩි හදිසි අවශ්‍යතාවක් පවතින බැවින්, මෙම පෙත්සම එළඹෙන ජූලි මස 14 වැනිදාට කැඳවීමට කටයුතු කරන ලෙසයි.

නමුත් ඉකුත් 6 වැනි දා අධිකරණය විසින් මෙම පෙත්සම කැඳවා තිබූ අවස්ථාවේ දී තීරණය කර තිබුණේ එළඹෙන ජූලි 27 වැනි දා දිනට මෙම පෙත්සම කැඳවීමටයි.

එහෙත් වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම නඩුකරයේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපතිවරයා පවා සිටින ස්ථානය දැනගැනීමට මහජනතාවට නොහැකි වී ඇති බවත් එමෙන්ම මෙම නඩුකරයේ ඇතැම් වගඋත්තරකරුවන් රටින් පළායාමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් එම මෝසමෙහි සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම මෝසම සලකා බැලූ අධිකරණය එළඹෙන 14 වැනි දා මෙම පෙත්සම කැඳවීමට තීරණය කර තිබේ.

වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම්ශූරයකු වන ජුලියන් බෝලිං ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Aruna