ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව සජිත් කියයි
අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් සිදුකළ ගිනි තැබීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවයි විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.“ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ සාධාරණත්වය රජයන සමාජයක් වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව පුරවැසි අරගලයකට එක්වූ අතර එහි උදාර අරමුණු කිසිම විටක පාවා නොදෙන්නට තරම් ඔවුන් විනයගරුක හා ශිෂ්ට සම්පන්න වූ බව අප තිරව විශ්වාස කරමු.
එහෙත් එකී අරගලයට මුවාවී, කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කරනු ලබන දේපල විනාශ කිරීම්, ගිනි තැබීම් සහ ජනජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම් වලට අපි කොන්දේසි විරහිතව එරෙහි වෙමු.
පසුගිය දින කිහිපය තුළ, අරගල කරුවන්, මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසකට ද ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වූ අතර ඒ පිළිබඳව ද පුළුල් පරීක්ෂණ පැවැත්විය යුතු බව අපි අවධාරණය කරමු.
ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී රටක් වෙනුවෙන් මෙතෙක් කල් සුරක්ෂිතව රැකගෙන ආ පුරවැසි අරගලයට කළු පැල්ලම් එක් කිරීමට වෙර දරන පිටස්තර බලවේග පිළිබඳව අපි අවධානයෙන් සිටිමු යැයි සමස්ත සමාජයෙන් ඉල්ලා සිටිමු.
මේ එළඹ ඇත්තේ ඉතාම තීරණාත්මක මොහොතක් හෙයින් සංසුන්ව සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් සංහිඳියාව පෙරදැරිව කටයුතු කරන්නට එක්වන්න යැයි සමස්ත පුරවැසියන්ට ගෞරවයෙන් ආරාධනා කරමු.”
Aruna