Friday, January 02, 2026
Follow Us
ධම්මික පෙරේරා බලාපොරොත්තු වන ඇමැති ධුරය

සති දෙකකින් ධම්මිකගෙන් විශේෂ ප්‍රකාශයක්


ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබීය.

ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් දන්නේ ණය ගන්නවාට වඩා ඩොලර් සෑදීමට බවත්, තමන්ගේ පූර්ණ සැලසුම සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත්කරනු ලබන බවත්ය.

මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට පෙර ධම්මික පෙරේරා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සහ බදු නිෂ්කාශණ වාර්තා කථානායකවරයා වෙත භාර දී තිබේ.

රජය තමන්ට සුදුසු අමාත්‍ය ධුරයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ තමන් ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවත් ඔහු පැවසීය.

වත්මන් අර්බුදයට ද විසඳුම් ලබා දීමට තමාට විශ්වාසයක් ඇති බවත් මිනිසුන්ට රැකියා අහිමි වන මොහොතක, රැකියා අවස්ථා ඇති කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

රටට වැඩක් කරන්න තමයි ඇත්තටම මම මෙතනට ආවේ. මම ප්‍රතිඥා දෙන්න ඉස්සෙල්ලා මගේ වත්කම් බැරකම් ප්‍රකාශය භාර දුන්නා කථානායකතුමාට. ඒ වගේම මගේ Tax clearance certificate ඒකත් මම කථානායකතුමාට භාරදුන්නා, එතනින්ම වෙනසක් සිදුවෙයි කියලා.

මම ඇත්තටම මේ ප්‍රශ්නය තියෙන හින්දා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. දැන් ප්‍රශ්නෙට විසඳුම් හොයන එක තමයි මගේ කාර්යභාරය වෙන්නේ. මම හිතනවා මට ඒක කරලා ජයගන්න පුළුවන් කියලා මේ ප්‍රශ්නය.

මම හිතන්නේ හොඳ අමාත්‍යාංශයක් භාර දෙයි. කොහොම වුණත් මගේ දායකත්වය මම ඇත්තටම සම්පූර්ණම රට ගැන බලලා තියෙන හින්දා, කොයි අමාත්‍යාංශය ලැබුණත් මට ඒ දායකත්වය දෙන එකේ වගකීම භාර ගන්න තමයි මම ඇත්තටම ආවේ.

මේ වගේ වාතාවරණයක් උඩත් මම හිතනවා මට ශ්‍රී ලංකාවට ආයෝජන ගේන්න පුළුවන් කියලා. මම තමයි යුද්දේ තියෙන වෙලාවේ ආයෝජන මණ්ඩලයේ සභාපතිව හිටියේ. මට ඒ ගැන හොඳ confidence එකක් තියෙනවා. රස්සාවල් නැතිවෙනවා කියන අවස්ථාවක මම ඇත්තටම රස්සාවල් හදන්න තමයි ආවේ.

අපි සාමාන්‍යෙයන් කරන්නේ දේශපාලඥයන්ට එළියේ ඉඳලා කෑගහන එක. එහෙම කරනවාට වැඩිය මේ වගේ තැනකට ඇවිල්ලා, ඒ කරන්න ඕන වැඩ ටික කළාම මේ ප්‍රශ්න ටික ඉවර කරන්න පුළුවන් කියලා මම හිතනවා.

මම දැනටත් මොරටුව යුනිවර්සිටි එකත් එක්ක IT ඉගෙන ගන්න ළමයින්ට open.uom.lk කියලා පාඨලාමාලාවක් කරනවා. ඕනම ළමයෙකුට O/L ෆේල් වුණත් ඒ ළමයට එතන්ට ඇතුල් වෙන්න පුළුවන් මොරටුව යුනිවර්සිටි එකට. එතන මාස හතරයි ඒ Courses හය පටන් අරගෙන. ළමයි 90,000 ක් ඉගෙන ගන්නවා. මම වගේ එක්කෙනෙකුට එහෙම කරනවනා කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. අද DP Education ගත්තත් ළමයි ලක්ෂ 11ක් අධ්‍යාපනය ලබන්නේ මගේ DP Education එකෙන්. ඉතිං මම හිතනවා මට ඒ පෙරළිය කරන්න පුළුවන් කියලා.

රටේ පෝලිං තියෙන්නේ මේ රටට ඩොලර් නැති හින්දා. ඩොලර් නැති හින්දා තමයි මේ ඔක්කෝම සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ඩොලර් හදන වැඩපිළිවෙල තමයි මම මූලිකත්වය ගන්නේ කොහොම කළත්. ක්ෂණික විසඳුමක් හැටියට මාව ගන්න එපා. ණය ගන්නවාට වැඩිය ඩොලර් හදන විදිය තමයි මම දන්නේ. ඒක හින්දා මම ඒකට තමයි දායකත්වය දෙන්නේ. ඒක හින්දා ක්ෂණිකව හෙට උදේට විසඳන්න පුළුවන් කියන එක්කෙනෙක් නෙමෙයි මම. මම මගේ ප්ලෑන් එකත් එක්ක, සුමාන දෙකක් ඇතුළත මම ඒ ටික එළියට දෙනවා.

Aruna