ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද තීන්දු කළා.
මෙම පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණා.
කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි.
අද පෙරවරුවේ පෙත්සම් සලකා බැලීම දෙවන දිනයටත් ආරම්භ වූ අවස්ථාවේදී වග උත්තරකාර ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රධානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා.
තම සේවාදායකයා දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කොට ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ චන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් තිබේදැයි තීරණය කිරීමේ බලය තිබෙන්නේ කථානායක වරයා වෙත පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
එම කටයුත්ත සදහා මැදිහත් වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කළා.
මහ මැතිවරණයකදී ජනතාව මුලින්ම චන්දය ප්‍රකාශ කරන්නේ පක්ෂයකට මිස එහි අපේක්ෂකයින්ට නොවන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ජාතික ලැයිස්තුවේ ඇතිවන පුරප්පාඩුවක් සදහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමේ අභිමතය පක්ෂයක මහ ලේකම්වරයා සතු වන බවත් පෙන්වා දුන්නා.
එය අභියෝගයකට ලක් කළ නොහැකි බවත් ඔහු සඳහන් කළා.
එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහ නෑ ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසත් අධිකරණයෙන් අයැද සිටියා
පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වන අවස්ථාවක ඊට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමේ අභිමතය පක්ෂයක මහ ලේකම්වරයා සතුවන බවයි.
එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු අවධාරණය කළා.
මෙම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
ඊයේ දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත් වන්නේ කවුරුන්ද යන්න ගැන ජනතාව ඡන්දය පාවිච්චි කරන අවස්ථාවේදී දැනුවත්ව සිටිය යුතු බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවයක් බවත් පෙන්වා දී තිබුණා.
ධම්මික පෙරේරා මහතාගේ නම ඉකුත් මහ මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා වල හෝ ජාතික ලැයිස්තුවේ ඇතුළත්ව නොතිබූ හෙයින් ඔහු අදාළ තනතුර සඳහා නම් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී තර්ක කළා.
ධම්මික පෙරේරා බලශක්ති උත්පාදනය, වාණිජ බැංකු, මූල්‍ය සමාගම් සහ වෙළඳ සමාගම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී ව්‍යාපාර රාශියක හිමිකාරිත්වය දරන බව සඳහන් කළ ජනාධිපති නීතිඥ වරයා එවැනි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීම හරහා ජනතාව තුළ සැකයක් උත්පාදනය වන බවද පෙන්වා දී තිබුණා.
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණු ආරක්ෂා කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇති බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට අවසර දී පෙත්සම මගින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද මෙම ඉල්ලීම අධිකරණය හමුවේ ඊයේ දින සිදු කළා.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය. පාක්‍යසෝති සරවනමුත්තු, මාධ්‍යවේදීනී රොයෙල් රේමන්, ව්‍යපාරික චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් පහ ඉදිරිපත් කර තිබුණා.
Neth