Thursday, January 01, 2026
Follow Us
ආණ්ඩුව බංකොලොත් වුණාට විපක්ෂය බංකොලොත් නෑ – විපක්ෂ නායක සජිත්

අද වන විට ආණ්ඩුව බංකොලොත් වී ඇති බවත්, එහෙත් විපක්ෂය බංකොලොත් වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ බංකොලොත් වූවා නම් සමගි ජනබලවේගය රට වෙනුවෙන් හුස්ම වැඩසටහන, මේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් සක්වල වැඩසටහන, බස්‍ රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යනාදී සමාජ සත්කාර ක්‍රියාත්මක කළ නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සහමුලින්ම පරිවර්තනයකට ලක් විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය, විද්‍යාව, ගණිතය, ඉන්ජිනේරු ක්ෂේත්‍රය යනාදී විෂයයන් විධිමත්ව, ක්‍රමවත් ලෙසත් සකස් විය යුතු බව පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විධිමත් ලෙස රටේ බලය ලබාගන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් මෙහා ජනතාව පාවා දී, අගමැතිකම්වලට හෝ තනතුරු තාන්න මාන්න වලට හෝ කෙල හලන පුරුද්දක් තමන්ට නැතැයි ද පැවැසීය.

නැති බැරිකම් සහ නොහැකියාවන් කියන්නට ආණ්ඩුව අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු බලය ගන්නට පෙරාතුවත් කරන ලද කයිවාරු සහ ප්‍රකාශ ක්‍රියාවට නැංවීම ආණ්ඩුවක් කළ යුතු යැයි ද සිහිපත් කළේය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 22 වන පියවර ලෙස ඊයේ (16) මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නවයාලතැන්න කටුගස්තොට සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයට රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

LNW