Thursday, January 01, 2026
Follow Us
ධම්මික පෙරේරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදිනියක වන රොයෙල් රේමන්ඩ් විසින්.

එම පෙත්සමෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ධම්මික පෙරේරා පත් කිරීමට අදාළව මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහි වගඋත්තරකරුවන් ලෙස ධම්මික පෙරේරා, ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමසාරිස්වරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පුරපාඩු වූ විට ඒ සඳහා පත් කිරීමට හැකියාව ලැබෙන්නේ මහමැතිවරණයේදී දිස්ත්‍රික්ක සඳහා භාරදුන් නාමයෝජනාවල නම් ඇතුළත්ව සිටින පුද්ගලයකු හෝ ජාතික ලැයිස්තුවේ නම් සදහන් පුද්ගලයකුට පමණක් බවයි.

එහෙත් ධම්මික පෙරේරාගේ නම ඉකුත් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ ඇතුළත්ව නොතිබූ බැවින් ඔහු පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයක් සඳහා පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) වන වගන්තියට පටහැනි බවයි පෙත්සමෙන් පෙන්වා දෙන්නේ.

එබැවින් මෙම පත්කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීමට ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මීට පෙරද තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබුණා.

Neth