Thursday, January 01, 2026
Follow Us
ධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්

ධම්මිකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් නැතිවෙයි ?


ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
ඉන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුව සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීමට ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පුරපාඩු වූ විට ඒ සඳහා පත් කිරීමට හැකියාව ලැබෙන්නේ මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක සඳහා භාරදුන් නාමයෝජනාවල නම් ඇතුළත්ව සිටින පුද්ගලයකු හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන් පුද්ගලයකුට පමණක් බවය.

එහෙත් ධම්මික පෙරේරා මහතාගේ නම ඉකුත් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ ඇතුළත් ව නොතිබූ බැවින් ඔහු පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයක් සඳහා පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) වන වගන්තියට පටහැනි බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

එමෙන්ම ධම්මික පෙරේරා මහතා බැංකු, මූල්‍ය ආයතන, බලශක්තිය, වතු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පත්වීම සහ ඒ හරහා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් පත්වීම තුළින් බරපතළ පක්ෂග්‍රාහී භාවයක් නිර්මාණය වීමට හැකියාව තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එබැවින් මෙම පත්කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.

Aruna