Saturday, July 12, 2025
Follow Us
රාජපක්ෂටත් තෙල් ගහන්න සල්ලි නෑ ලු

කෝච්චියෙන් මැතිසබයට ආ රාජපක්ෂ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට ඉකුත් හය වැනිදා කොළඹ ආවේ කෝච්චියෙනි.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිවරයා ඉකුත් අටවැනිදා ඊට හේතු කීවේ මෙසේය.

‘‘ව්‍යාපාරිකයෙක්, ධනවතෙක් නොවන මා වැනි මන්ත්‍රිවරුන්ට වැඩිවන තෙල් මිල දරාගන්න බෑ. ඒ නිසා මම නුවර ඉඳන් කොළඹ ආවේ කෝච්චියෙන්.’’

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ මේ කතාව ඇසූ සමහරු ඇහුවේ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කෝච්චියේ යනවාදැයි කියාය. මක්නිසාද යත් අලුත් කෝච්චියක් රේල්පාරට දැමීම නිමිති කර පැවැත්වෙන මංගල ගමනට කෝච්චියට ගොඩවන ප්‍රවාහන ඇමැතිවරයා මිසක් කොච්චියේ යන මන්ත්‍රීවරුන් ගැන මෙකල අහන්නට නොලැබෙන නිසාය.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේම ඇමැතිවරයෙක් වන කෙහෙළිය රඹුක්වැල්ල දෙතුන් සතියකට පෙර කීවේ තමා එදා ගියෙත් බෙන්ස් රියේ බවත් තම ගේ ගිනි තැබූවද හෙටත් යන්නේ බෙන්ස් රියේ බවය. ඇමැති රස්සාවට පෙර ඔහු නීතිඥයකු මෙන්ම ව්‍යාපාරිකයකු ලෙසද ප්‍රසිද්ධය. එබැවින් ඔහුට මේ අමාරුකම් දැනෙන්නට නැතිව ඇත.

එබැවින් ඇමැතිවරුයකු යනුවෙන් කී විට අපිට සිහි වන්නේ කෙහෙළිය වැනි බෙන්ස් රියේ යන ඇමැතිවරුන්ය. ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි තැබෑරුම් දුසිම් ගණන් හිමි බිලියන පතියෝය. අනුරාධපුරයේ ශෙහාන් සේමසිංහ ඇමැතිවරයාගේ ගේ ගිනි තැබූ වෙලේ පවුම් හැටක් අතුරුදන් වී තිබූ බව ඔහු පොලිසියට පැමිණිල්ලක් ද දමා තිබුණි. බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා දෙසතියකට ඉහතදී උසාවියට ආවේ ඩිෆෙන්ඩර් වටකරගෙනය.

නමුත් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා කියන්නේ පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රිවරයෙක්ම සල්ලිකාරයෙක් නොවන බවය.

‘‘ලලිත් එල්ලාවල, මම ඇතුළු මන්ත්‍රිවරු දහ පහළොස්දෙනෙක් ජීවත් වෙන්නෙත් අමාරුවෙන් අපිට ධන බලයක් නෑ. මැර බලයක් නෑ. සල්ලි උපයන වෙන බිස්නසුත් නෑ. අඩුම තරමේ මම පාර්ලිමේන්තුවෙන් කන්නේවත් නෑ. මන්ත්‍රිවරු තුන් හතර දෙනෙක් දවල්ට කන්න පාර්ලිමේන්තුවේ ඉඳන් මාදිවල මන්ත්‍රි නිවාසවලට එනවා. ගෙදර වගේ සුළු දෙයක් උයාපිහාගෙන තමයි කන්නේ. ඒත් මුළු රටම හිතන්නේ 225ම හොරු, සල්ලිකාරයෝ කියලා. අපි ජීවත් වන හැටි දන්නේ අපි විතරයි.’’ මන්ත්‍රිවරයා කියන්නේය

Aruna