Wednesday, July 09, 2025
Follow Us
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර විශේෂ සාකච්ජාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර රටේ උද්ගතවී ඇති වර්තමාන ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය ජී.එල්.පිරිස්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වූ බවයි වාර්තා වුණේ. මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි සහ යදාමිණි ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා. පක්ෂ දෙක ඉදිරියේදීත් එක්ව කටයුතු කිරීමට එහිදි තීරණය වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි සිය පක්ෂය නව ආණ්ඩුවේ කටයුතු සදහා සහය ලබා දෙන බවයි.

මේ අතර රටේ සැබෑ ගැටළු පිළිබද අවධානය යොමු නොකර සිය දේපළ ගිනි තැබීම් සහ විනාශ කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින 04ක් පුරා කතා කිරීම සම්බන්ධයෙන්ද මහ ජනතාවගෙන් දේශපාලනඥයින්ට දැඩි චෝදනා එල්ල වුණා. ජනතාව පෙන්වා දෙන්නේ ජනතා ගැටළු පිළිබද අවධානය යොමු නොකර දේශපාලනඥයින් සිය දුක්ගැනවිලි පමණක් ඉදිරිපත් කරමින් සිටින බවටයි.

(Neth)