Saturday, April 27, 2024
Follow Us
රටේ ආර්ථික අර්බුදය විසඳීමට කතානායකවරයාගෙන් අගමැතිට විශේෂ යෝජනාවලියක්

රටේ ආර්ථික අර්බුදය විසදීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විශේෂ යෝජනාවලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබෙනවා. රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙන බවයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

විදෙස් රටවල සේවය කරනු ලබන හෝ විදේශවල ව්‍යාපාරවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයින් සහ ඕනෑම විදේශික ආයෝජකයෙකු ශ්‍රී ලංකා මහ බැංකවේ වසර දෙකක කාලයකට තැන්පත් කරන අමෙරිකානු ඩොලර් ලක්ෂයක ස්ථිර තැන්පතුවක් සඳහා ප්‍රතිලාභ යෝජනා 04 ක් කතානායකවරයා විසින් හදුන්වා දෙනවා.

ඒ අනුව එම තැන්පත්වලට වසරකට සියයක 10 ක පොලියක් ගෙවීම, එය ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම හා එම මුදල ඔවුන්ගේ අභිමතය පරිදි වෙනත් ඕනෑම ගිණුමකට බැර කිරීමට අවස්ථාව සලසාදිය යුතුයි. එවන් ස්ථිර තැන්පතුවක් තැන්පත් කරන අයෙකුට මාස 06 කට පසු අමෙරිකානු ඩොලර් 25,000 ක් වටිනා වාහන ආනයන බලපත්‍රයක් ලබාදීම, එම වාහනය වෙනුවෙන් බදු වශයෙන් සම්මතයක් ලෙස ඩොලර් 10,000 ක් රජයට ගෙවීම ද ප්‍රතිලාභ යෝජනා යටතේ කතානායකවරයා ඉදිරිපත් කළ යෝජනාවලට ඇතුලත්.

ඊට අමතරව රටේ පවතින විදේශ විනිමය පිරිමසා ගැනීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැතිවරයාට භාරදුන් ලිපියේ තවත් යෝජනා 06 ක් ඇතුලත්. ඒ, බලශක්ති පිරිවැය අවම කිරීම, ගෑස් නිකුත් කිරීම, දේශීය නිෂ්පාදන නැංවීම, ආහාර නිෂ්පාදනය, බැංකු පද්ධතිය ස්ථාවර කිරීම සහ දැනට යෝජිතව පවතින සමෘද්ධි ලාභීන්ට සහ වැඩිහිටි දීමනා හා අතිරේක දීමනා යටතේයි.

මෙම යෝජනාවලියම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිට ද මීට පෙර භාරදී තිබුණා.

(Neth)