Wednesday, July 09, 2025
Follow Us
ගෝල්ෆේස් ප්‍රහාර පිටුපස පක්ෂ 3ක්

විමර්ශන මගින් හෙළි වූ දේ


ගෝල්ෆේස් අරගලයට පහරදීමෙන් පසු රටපුරා දේශපාලනඥයන් 74 දෙනකුට අයත් දේපොළ හා රාජ්‍ය දේපළ විනාශ කිරීම පසුපස ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් සිටින බවට මෙතෙක් කරන ලද මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවාව, විශේෂ කාර්යාංශය හා හමුදා බුද්ධි අංශ මෙතෙක් සිදුවීම් ගැන කරන ලද මූලික විමර්ශනවලදී මෙය තහවුරු වන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියෙක් පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් ප්‍රහාරය පසුපස සිටින බව හෙළි වී ඇතැයි හෙතෙම කීය.

මේ අතරින් ප්‍රධාන පක්ෂ දෙකක් මෙවැනි සැලසුම් සහගත ලෙස ප්‍රහාරයකට අරඅදිමින් සිට ඇති බවත් මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට විවිධ දිස්ත්‍රික්කවලින් පැමිණෙන බස් රථවල අංක සියල්ල එක් පක්ෂයක සාමාජිකයන් තම කණ්ඩායම්වල දිස්ත්‍රික් සාමාජිකයන් අතරේ ‘ටෙලිග්‍රෑම්’ ජාලය ඔස්සේ හුවමාරු කර ඇති බවත් හෙළි වී ඇත.

සැලසුම් සහගත ප්‍රහාරයකට අරඅදිමින් සිටි පක්ෂ දෙකේ ක්‍රියාකාරීන් අරලියගහ මන්දිරයට පැමිණි පිරිස මයිනාගෝගම හා ගෝඨාගෝගමට පහරදීමත් සමග එය මූලික කරගෙන රටපුරා කලහකාරී තත්ත්වයක් ඇති කිරීමට මුල පුරා ඇති බවද දැනට තහවුරු වන බවද එම නිලධාරියා සඳහන් කළේය.

දැනට මූලික විමර්ශනවලදී හෙළිවන තොරතුරු ඉදිරි දින කීපයේදී සියලු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී පෙරේදා (17 වැනිදා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීත් මන්ත්‍රිවරුන් තම නිවාස ගිනි තැබීම ගැන මෙම දේශපාලන පක්ෂවලට චෝදනා එල්ලකර තිබිණි.

(Aruna)