සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීම සදහා තමන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැති බවත් එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතු වී ජනතා අරගලයට එරෙහිවීමට තමා කටයුතු නොකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ.
කෙසේවෙතත්, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගෙන පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට තමන් වැදගත් ඉදිරි පියවරක් තැබීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ඒ සඳහා සමගි ජන බලවේගය සිය නම යෝජනා කරනු ඇති අතර සියළු දෙනාගේ සහයෝගය හිමිවනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත් වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමට අපේක්ෂා කරන බවත් පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට තමන් අදහස් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය නිවේදනයේ දක්වා තිබෙනවා.
මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකි යැයි තමන් විශ්වාස කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකියි. මෙම කාරක සභාව එතරම් බලවත් බවත් ජනතා මතය සුරකිමින් රටට මේ අවස්ථාවේ සිය සේවය ලබාදීමට අදිටන් කරගෙන සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පාර්ලිමේන්තුවේ සියළු කාරක සභාවල සභාපති තනතුරු විපක්ෂයට ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.
(Neth)