Tuesday, July 08, 2025
Follow Us
පාඨලී අගමැතිගෙන් ප්‍රශ්න පහකට උත්තර ඉල්ලයි

පාඨලීගෙන් රනිල්ට ලිපියක්


පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් පැහැදිලි කරන ලෙස 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

එය දෙස බලා රජයට කවර මට්ටමින් සහයෝගය ලබා දෙන්නේද යන්න තීරණය කරන බව ඔවුන් සඳහන් කරයි.

මේ අතර එම ලිපිය මඟින් ප්‍රශ්න කිහිපයක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරමින් ඒවාට පිළිතුරු දෙන ලෙස ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

01. 2022 මැයි මස 09 වන දින රටපුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුලපුරමින් “ගෝඨාගෝගම” සාමකාමී උද්ඝෝෂණ භූමියට පහර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැර දේශපාලන බලවතුන් නීතිය හමුවට පැමිණවීම සදහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ? එමෙන්ම ඉන් පසු ඇමති මැති ආදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින්ගේ ජිවිත හා දේපල විනාශ කිරීම් පිලිබදව ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද ?

02. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර තිබේද? ඒ සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද?

03. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම සදහා දැනට සිදු කර තිබෙන විමර්ශන වල අඩුපාඩුකම් ඇති බව පිළිගනිමින් නව ස්වාධින විමර්ශන ක්‍රියාවලියක් අරඹා වින්දිතයන්ට යුක්තිය ඉටු කරදීමට ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද ?

04. ජනාධිපති බලතල සීමා කරමින් හා ස්වධීන අධිකරණ, පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ, විගණන කොමිෂන් සභා ආදිය බල ගැන්වෙන 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩනමින් ගෙන ඒමට ඔබ එකඟ වන කාල රාමුව කුමක්ද ?

05. දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය , මූල්‍ය විනිවිදභාවය, සමාජය කෙරෙහි වගවීම සහ මැතිවරණ වලදී විද්‍යුත් ජනමාධ්‍ය වල දේශපාලන පක්ෂපාතිත්වය වැලැක්වීම තහවුරු කෙරෙන මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයක් කඩිනමින් හඳුන්වාදීමට ඔබ කටයුතු කරන්නේද ?

එසේම පහත සදහන් යෝජනාවලට අගමැතිවරයාගේ අවධානය යොමු කරන ලෙස ද එම ලිපියයේ සඳහන් වේ.

01. රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම පිණිස හදිසි විදේශ විනිමය ලබා ගැනීම පිණිස ඔබතුමා යෝජනා කරන වැඩපිළිවෙල රට හමුවේ ප්‍රසිද්ධ කල යුතුය.

02. රාජ්‍ය මුල්‍ය ස්ථායිකරණය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද ඔබතුමාගේ අදහස විවෘතව රට හමුවේ තැබිය යුතුය.

03. තරුණ අරගලකරුවන්ගේ දේශපාලන ඉල්ලීම් මහජන ප්‍රතිපත්ති බවට පත් කරගැනීමට ඉඩ සලසා දෙනු වස් ඔවුන්ගේ නියෝජිතයින්ට පාර්ලිමේන්තු ක්‍රියාදාමය අධීක්ෂණය කළහැකි ව්‍යුහයක් නිර්මාණය කර දෙන ලෙස යෝජනා කර සිටිමි.

04. ඊලග මැතිවරණයට පෙර දුෂණය වැලැක්වීම පිළිබද සිංගප්පුරු හා හොංකොන් රාජ්‍යයන්හි පවත්නා ආකාරයේ දුෂණය මැඩලීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කලයුතු බව යෝජනා කරමි.

05. ශ්‍රී ලංකා මහා බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කොට එය මුළුමනින්ම දේශපාලනීකරණයෙන් බැහැර කොට පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවට පත්කලයුතු යැයි යෝජනා කරමි.

06. රාජ්‍ය බුදධි අංශ හා ආරක්ෂක අංශ දේශපාලන අතකොලු බවට පත් නොවී ඒවා ස්වාධින ලෙස පවත්වාගන යාම තහවුරු කළ යුතු යැයි යෝජනා කරමි.

(Aruna)