Tuesday, July 08, 2025
Follow Us
කිසිදු වරප්‍රසදයක් නොගෙන රට වෙනුවෙන් ඉදිරිපත්වූ නව අගමැතිට සහය ලබා දෙනවා - ස්වාධින දේශපාලන කණ්ඩායම් 10 තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ආණ්ඩුවෙන් ඉවත්ව ඉකුත්දා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 ක් පවසනවා. කිසිදු වරප්‍රසාදයක් ලබානොගෙන රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩ පිළිවෙලට සහය ලබාදෙන බවයි එම කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ අග්‍රාමාත්‍යවරයාට සහය ලබාදීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහිදි ජනාධිපතිවරයා පවසන්නේ නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස පළමුව ආරධනා කළේ, විපක්ෂ නායකවරයාට බවයි. එහෙත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන තුරුත් විපක්ෂ නායකවරයා ප්‍රතිචාරයක් ලබා නොදුන් බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට සුළු වේලාවකට පෙර ඔබ ලිපියක් යොමු කරමින් මෙතෙක් සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟවී නොමැති කොන්දේසි කිහිපයක් යටතේ අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බව දන්වා තිබූ බවයි ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වන්නේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම ඔබ විසින් ප්‍රතික්ෂේප කර තිබූ තත්ත්වයක අනෙකුත් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව එම ලිපිය මගින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා සමගි ජන බලවේගයේ යම් පිරිසක් ඉදිරියේදී පත් කිරිමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරිමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව තමා දැනුවත් කරන ලෙසයි ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත්තේ.

(Neth)