Monday, July 07, 2025
Follow Us
මේ යන්නේ අඳුරට. ජනපති අගමැති වහාම අස්වෙනු ! – විපක්ෂ නායක සජිත් කියයි

මේ ජනාධිපති හෝ අගමැති යටතේ රට ගොඩනගන්න බැරි බවත් මේ යන්නේ ආලෝකය වෙනුවට අන්දකාරය වෙත බවත් එබැවින්, අලුත් ආණ්ඩුවක් හදන්න ජනතාවට ඉඩ දෙන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවට හෙටම හෝ දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා වහාම නියෝජ්‍ය කතානායක ධූරයට අයෙක් පත්කරන ලෙසද ඉල්ලා සිටියේය. සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගැන කියනවිට අත්පොලසන් දෙන අයම මේ ආණ්ඩුව බලයට ආ සැනින් ගෙනා කෝටිපතියන්ට බදු සහන දෙත්දීත් අත්පොලසන් දුන් බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

කෝටිගනන් ඩොලර් රටට අහිමිකළ පැන්ඩෝරා හොරුන්ගෙන් වහාම මුදල් අයකරගන්නා ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා, සුබසාධන රාජ්‍යට පහර නොදෙන ලෙසත්, 2015 රජයේ සේවකයින්ට 10000ක් පඩි වැඩි කිරීම වැරදි බවට ආණ්ඩුව කළ ප්‍රකාශය හෙලාදකින බවත් කීය. එදා ඒ වැටුප් වැඩිකිරීමෙන් රාජ්‍ය ආදායම අහිමිකර නොගත් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. අද රට වැටී ඇත්තේ මාස තිහේ ආණ්ඩුවේ ලිංමැඩි ක්‍රමවේදය නිසා බව කී විපක්ෂ නායකවරයා, දැන්වත් ලෝකය සමග ගනුදෙනු කරන ලෙසත් පැවසීය.

ජනාධිපති අගමැති ඇමති අංතට්ටු ලබාගන්නට සමගි ජනබලවේගය සූදානම් නැතිබව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට ගොඩනගන වැඩපිළිවෙළකදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද කීවේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමිනි.

 

(LNW)