Monday, July 07, 2025
Follow Us
මෛත්‍රී, යෝෂිත හා කබ්රාල්ට ජවිපෙන් යළි අභියෝගයක්

“රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් දේශපාලනඥයින් සම්බන්ධයෙන් තමන් හෙළි කළ සියලු කරුණු සත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහිදී නම් ප්‍රකාශවූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය කාර්්‍යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එරෙහිව ඉදිරිපත් කළ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ අයථා ලෙස එම ගණුදෙනුවලට සම්බන්ධ නොමැති නම් ඒ පිළිබඳ ඔවුන්ට සනාථ කරන ලෙසයි.

ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් මීට පෙර අදාළ පාර්ශවයන්ට පැමිණිලි කළද ඊට සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් එම චෝදනා පිළිබඳ ජනතාව දැනුවත් කළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. සිය පක්ෂය හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ඔවුන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, ඉදිරි විමර්ශණ සඳහා වඩාත් පහසු වන බවද ඔහු සඳහන් කළා.

මහජන මුදල් වංචා කරන පුද්ගලයින්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවීම සිය පක්ෂයේ එකම අරමුණ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)