Monday, July 07, 2025
Follow Us
අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද

පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ උදෑසන 10 ටයි. එහිදී පළමුව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව තිබෙනවා. ඒ, නියෝජ්‍ය කථානායක ධූරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සමගි ජනබලවේගය සිය පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සමගි ජනබලවේගයෙන් ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ නම යෝජනා කිරීමේ සූදානමක් ඇති බවට ද මීට පෙර වාර්තා පළ වුණා. අවස්ථානුකූලව අවශ්‍යවුවහොත් සිය කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකුගේ නමක් එම තනතුරට යෝජනා කිරීමටයි ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.

එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් නියෝජ්‍ය කථනායකවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දයක් විමසීමට සිදුවනවා. එසේවුවහොත් එය පාර්ලිමේන්තුවේ වර්තමාන බහුතර බලය විමසන අවස්ථාවක් බවට පත්වන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ අතර රංජිත් සියඹලාපිටිය මන්ත්‍රිවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් කථානායකවරයා වෙත ලැබී නොමැති බවට ද වාර්තා පළ වනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම නියෝජ්‍ය කථානායක ධූරයට නැවතත් යෝජනා කිරීමට ද සූදානමක් පවතින බවයි වාර්තා වුණේ. ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සඳහන් කළේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද ඇතැම් පාර්ශව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා 02 ක් සමගි ජනබලවේගය ඊයේ කථානායකවරයා වෙත භාරදුන්නා.

එම යෝජනා කඩිනමින් විවාදයට ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

(Neth)