Monday, July 07, 2025
Follow Us
මහින්ද ගෙදර යවන්න අපි ඉඩ තියන්නැ

පොහොට්ටුව නුගේගොඩට


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මැයි රැලියක් නොපැවැත්වූ අතර එහි වෘත්තිය සමිති එක්ව නුගේගොඩදී මැයි රැලියක් සංවිධාන කර තිබුණි.

ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලය සහ පොදුජන ප්‍රගතිශීලී වෘත්තිය සමිති මධ්‍යස්ථානය එම මැයි රැලිය සංවිධානය කර තිබුණි.

එම මැයි රැලියට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා,

“අද බොහෝ අය බලාපොරොත්තු වෙනවා මහින්ද ගෙදර යවලා ආණ්ඩු පිහිටුවීමට. ඒකට අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය කවදාවත් ඉඩදෙන්නේ නැති බව මම මේ මොහොතේදී කියන්නට කැමති. මම දැක්කා ඊයේ පෙරේදා බණ්ඩාරනායක මහතාගේ ඇස්දෙක වහලා කළු පටියක් බැඳලා.ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධය කාලයේ අපේ හාමුදුරුවරු, අපේ බෞද්ධයෝ දහස් ගණනක් මිය ගියා. කොයි පල්ලියේ පියතුමාද අපිට පක්ෂව කතා කළේ ? අද අපි දණගාගෙන යනවා පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන්. අද අලුත් මතයක් මේ රටේ ගොඩනගන්න හදනවා. අපිට යුතුකමක් තියෙනවා, අපේ රටේ ආගමත් ජාතියත් බේරගන්න.”

මේ අතර “අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට බලකෙරෙන අධිරාජ්‍ය විරෝධී මැයි රැලිය” යන තේමාවෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ මැයි දින සැමරුම් වැඩසටහන අද පස්වරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදීය පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,

“සමහරවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේක පෙනෙන්නේ, මේ දෙකොණ පත්තු වුණ විලක්කුවක් විදිහට. මේක අතට ගන්න එක මේ වෙලාවේ දරුණු වැඩක්. ඉල්ලන් කන වැඩක්. ඒ නිසා මෙහෙම ගිහිල්ලා හොම්බ බිම ඇනගන්න දෙන්න ඕනේ. එතකොට රට වැසියා විසින් වැඩි වියදමකින් තොරව ඉබේම ජනාධිපති පුටුවට හරි රාජ්‍ය නායක පුටුවට හරි අරගෙන ඒවි. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දෙස බලන්නේ අර්බුදය විසින් තමාට පාර කපා දේවී කියන පටු කල්පනාවට අනුව. ඒකෙන් පේනවා එතුමා මේ අර්බුදය හරියට කියවලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් බලනවා ඇති අර්බුදයට කරගහන්න නරකයි කියලා. අර්බුදය මගින් මඟ පාදා දෙනවා බලසම්බන්න තත්ත්වයක් ඇතිකර දෙන්න. ඒකට අනුව මේක දිහා බැලුවාහම ඇති. වටහා ගතයුතු වැදගත් දේ තමයි අර්බුදය ඇතුළේ මහ අරගලකරුවෙක් වෙන එක මහ අමාරු වැඩක් නෙමෙයි. දැන් ඕන ජොගියෙකුට පුළුවන්නේ ගෝල්ෆේස් ගියානම් වීරයෙක් වෙන්න. අර්බුදය අරාජිකත්වයේ තෝතැන්න බවට පත්වෙන්න නොදී අර්බුදය වැරදි ගමන් මාර්ගයෙන් එළියට ඒමේ තෝතැන්න බවට පත්කරන එක තමයි දේශපාලන මැදිහත්වීම වෙන්නේ. අපි පවර ගන්න යන්නේ ඒ භූමිකාව.”

(Aruna)