Sunday, July 06, 2025
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කඩිනමින් අරඹන බව පක්ෂ එකොළහේ එකමුතුව කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පක්ෂ එකොළහේ එකමුතුව පවසනවා. එහි සාමාජික කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ඊට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ, ආණ්ඩු පක්ෂය නියෝජනය කර මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයින් සමඟ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීයි.

රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාවක් පත්කර ගැනීම කෙරෙහි එම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. සාකච්ඡාවට එක්වූ පක්ෂවල නියෝජිතයින් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ සාකච්ඡා සඳහා නියෝජිතයින් පස් දෙනෙකු නම් කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. පොදු ජන පෙරමුණ ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා ගැනීමට ද එහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

(Neth)