Saturday, July 05, 2025
Follow Us
ගුවන් යානා බද්දට ගැනීමේ ව්‍යාපෘතිය වහාම අත්හිටුවන්න - එජාපය ඉල්ලයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ ව්‍යාපෘතිය වහාම නතර කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එම ගුවන් යානා 21 බද්දට ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට මිල ගණන් කැදවා ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි වසර 3 ඇතුළදී සිය ගුවන් යානා සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඒ සම්බන්ධයෙන් එම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගෙන ඇති තීරණය සදහා පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි එක්සත් ජාතික පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන ව්‍යවසායයක් ලෙස පොදු ව්‍යාවසාය කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යන දෙඅංශයම වර්ගීකරණය කර තිබෙනවා. විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබියදී මෙවැනි තීරණයක් ගැනීම පිළිබදව රජය සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය ජනතාව දැනුවත් කළ යුතු බවයි එක්සත් ජාතික පක්‍ෂය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සදහා ණය ආධාරයක් ලබාගැනීමට රජය මේ වනවිට ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා. නව ගුවන් යානා බද්දට ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියාවද ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කරනු ඇති බවයි එක්සත් ජාතික පක්‍ෂය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ඉකුත් වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ, එම ගුවන් භාණ්ඩ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විවිධ මතවලට ප්‍රතිචාර දක්වමින්.

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩා මුදල් නෝට්ටු ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබී තිබූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ. එය, සම්පුර්ණයෙන්ම වානිජමය ක්‍රියාදාමයක් වූ අතර එමඟින් ගුවන් සමාගමට සහ ශ්‍රී ලංකාවට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී තිබෙන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ. එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කර සිටින්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලනක්න් ගුවන් සේවය මිට පෙර සඳහන් කර සිටියේ මෙලෙස තමන් ප්‍රවාහනය කරනු ලැබුවේ මුද්‍රිත භාණ්ඩ තොගයක් බවයි.

(Neth)