ආණ්ඩුවට සහය දක්වන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේද ස්වාධීන වීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. ඔවුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස බවටයි වාර්තා වන්නේ.
ඊයේ දිනයේද ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ස්වාධීන වුණා. ඒ අතරට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරු පහළොස් දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 09 දෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු සහ ආණ්ඩුවට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ අකිල ඉලංගෛ මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු අයත්.
කෙසේවෙතත් ස්වාධීන වන බවට දැනුම්දුන් රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ හා අරුන්දික ප්‍රනාන්දු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවානන්ද පසුව ප්‍රකාශ කලේ තමන් ස්වාධීන නොවන බවයි.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුණා. ඒ අනුව ස්වාධීනවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 42 ක්. ඊයේ දිනයේදී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබූ තුනෙන් දෙකක බහුතර බලය අහිමි වුණා.
පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට හිමිව තිබූ සමස්ත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 159ක්. මේ වන විට ආණ්ඩුවට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117ක්. පාර්ලිමේන්තුවේ සරල බහුතරය මන්ත්‍රී ආසන 113 යි. ඒ අනුව වත්මන් ආණ්ඩුවේ සරල බහුතරය රැදී ඇත්තේ මන්ත්‍රී ආසන 05 ක් මතයි.
(Neth)