Tuesday, July 01, 2025
Follow Us
ඊයේ රෑ අරලියගහ මන්දිරයේ මොකද වුනේ ?

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අත්සන් කිරීමට සූදානම්ව සිටිය දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ තවත් කිහිපදෙනෙකු එය වළක්වා ඇති බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස් වුවහොත් තමන් ද දේශපාලනයෙන් ඉවත් වන බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කර ඉන් පිටව ගිය බවයි වාර්තා වුණේ.

අමාත්‍යවරයා යළි අරලියගහ මන්දිරයට කැදවීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම සමීපතමයන් කිහිපදෙනෙකු ද දුරකථන ඇමතුම් ලබා ගත්ත ද ප්‍රසන්න රණතුංග ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

කෙසේවෙතත් වෙනත් පිරිසක් මාර්ගයෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අරලියගහ මන්දිරයට ගෙන්වා ඇති බවයි වාර්තා වුනේ.

ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී විශේෂ රැස්වීම පවත්වා ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්නොවී ඒ වෙනුවට අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට එම රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග යෝජනා කර තිබෙනවා. ඒ අනුවයි සියළු කැබිනට් අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ.

කෙසේවෙතත් අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර දරණ රාජපක්ෂ පවුලේ පිරිසෙන් එක් අයෙකු ප්‍රකාශ කර ඇත්තේ සිය පවුලේ අය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් අනෙක් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පවසා ඇත්තේ රටේ පවතින තත්ත්වයට ආණ්ඩුවේ සියලු දෙනා වගකිවයුතු බැවින් තමන් ද තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස් නොවිය යුතු බව ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය චමල් රාජපක්ෂ එහිදී සදහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා අස්විය යුතු අයගේ නම් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

කෙසේවෙතත් පැවති රැස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙත ගොස් සිදු වූ වචන හුවමාරුවට සමාව ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

අමාත්‍ය සරත් වීරසේකර සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඉන් අනතුරුව ඔහුට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් බැන වැදී ඇති අතර එය පහර දීමක් දක්වා යාම වළක්වාලීම සදහා එහි සිටි අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මැදිහත් වී තිබෙනවා.

ඉන් අනතුරුව රට පත්ව ඇති අර්බුධය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කරුණු පැහැදිළි කර ඇති අතර රටේ පවතින ඉන්ධන ගැටළුව පිළිබදව හිටපු අමාත්‍ය උයද ගම්මන්පිල වගකිව යුතු බවයි එහිදී සදහන් වී ඇත්තේ.

එම රැස්වීමට සහභාගි වී සිටි බහුතරය යෝජනා කර ඇත්තේ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට යළි පිහිටුවන කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූර ලබා නොදිය යුතු බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර එක්ව සිටි බවද වැඩිදුරටත් වාර්තා වුණා.

එවන් පසුබිමක් තුළයි දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාමු කර ඇත්තේ.

(Neth)