Friday, July 04, 2025
Follow Us
“ඕන නම් මගේ ඇමැතිකමත් ගන්න”

සර්ව පාක්ෂික සමුළුව 23 වැනිදා


සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම පරිදි මෙම මස 23 වැනි දින එම සමුළුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයිද, ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂවලට සිය යෝජනා මෙහිදී ඉදිරිපත් කළ හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය.

අඩු කිරීම, බෙදීම පහසු වූවත්, එකතු කිරීම අපහසු බවත්, එය හරිහැටි කළහොත් රටක් ලෙස ඉදිරියට යාහැකි බවත් ඔහු කීවේය.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

ආණ්ඩුවේ සමහරු කියනවා ගම්මන්පිල, විමල් වීරවංශ මහත්වරු ගියාට කමක් නැහැ කියළා. අපි කියන්නේ එහෙම කියන එක වැරදියි. ඒ දෙන්නා මේ රජය පිහිටුවන්න විශාල වැඩ කොටසක් කළා. අපි ඒ ගැනත් විමසීමක් කළා. ජනාධිපතිතුමන් අපිට කිව්වේ ඒ තීරණය සම්බන්ධව එතුමාත් කනගාටුව වන බවයි. නමුත් ඒ වෙලාවේ එම තීරණය ගැනීමට සිදු වූ බවත් ප්‍රකාශ කළා.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් මේ ඇමැති තනතුරු වරප්‍රසාද බලාගෙන කටයුතු කරන්නේ නැහැ. අපේ ඇමැති තනතුරුත් ගන්න අවශ්‍ය නම් ගත්තට කමක් නෑ. තනතුරු තිබුණත් නැතත් රජය රට ගොඩනැගීම සඳහා කටයුතු කරන්නේ නම් රජයට අවශ්‍ය සහයෝගය අපි අඛණ්ඩව ලබා දෙනවා.
මම හිතන්නේ අපි විසින් ඉදිරිපත් කළ යෝජනා සියල්ලම සම්බන්ධව යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒවා ක්‍රියාත්මක කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

(Aruna)