Tuesday, April 23, 2024
Follow Us
ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග කපලා - සජිත්

ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග විවර කොට ඇතැයි ද අදාල ගෙන්වීම සිදුකොට ඇත්තේ රාජතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රවේදයකින් නොවේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හතු පිපෙන්නා සේ හදිසියේ මතුවූ ආයතනයකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සහ අහිංසක ජනතාවගේ මුදල් රුපියල් කෝටි 29ක් වංචා සහගත ලෙස යොදවමින් නැනෝ දියර ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

මේ මහා වංචාව පිලිබදව වහාම අපක්ෂපාතී, විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා මේ පිටුපස සිටින වංචනිකයින් හෙළිදරව් කළයුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ ජනතාවගේ මුදල් සමග කරන සෙල්ලම නතර කළයුතු බවත් අවධාරණය කළේය. මේ රටේ ජනතාව ලබාදුන් ඡන්දයේ වටිනාකම ආණ්ඩුව විසින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, දැන් ආණ්ඩුවේම මැති ඇමතිවරු ජනතාවට ඔච්චම් කරන තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටපුරා පවතින ජනතාවගේ උද්ඝෝෂණ දේශපාලන උසිගැන්වීම්වල ප්‍රතිඵල නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතාවටයි යන එනමං නැති කළ ආණ්ඩුව කෙරෙහි රටපුරා ජනතාව උරණ වී ඇතැයි ද සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (23) තිස්සමහාරාමයේ බඳගිරිය ප්‍රදේශයේ පැවති "ගොවි හදගැස්ම" වැඩසටහනෙහි තවත් පියවරකට එක් වෙමිනි.

එම ප්‍රදේශයේ කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී ගොවි ජනතාව විපක්ෂ නායකවරයාව දැනුවත් කළ අතර එම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද, ප්‍රදේශවාසී ගොවි ජනතාව ද එක්ව සිටියහ.

(LNW)