Monday, May 06, 2024
Follow Us
කාට බැරිවුණත් මම ගමට යනවා

පක්ෂය අවසර ලබා දෙනවානම් මම සූදානම්


කාට ගමට යන්න බැරිවුණත් තමන්ට තවමත් ගම හුරු බවත් පක්ෂය අවසර ලබා දෙනවානම් වයඹ පළාතේ ප්‍රධාන ඇමැති ධුරයට තරග කිරීමට තමන් සූදානම් බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.

වයඹ ජනතාවගේ අඩුපාඩු, දුෂ්කරතා හා ඕනෑ එපාකම් හොඳින් හඳුනන තමට වයඹ පළාත ජයගැනීම අසීරු නොවන අතරම අභියෝගයක් වීමට තවමත් පෙනෙන තෙක්මානයක කිසිවකු නැති බවත් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ දී ඊයේ (13 වැනිදා) මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ දී රාජ්‍ය ඇමැතිවරයා ඒ බව සඳහන් කර සිටියේය. මැතිවරණයක් පැවැත්වීමට ප්‍රථම මෙරට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවත්. ඡන්ද ක්‍රමයද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් වැඩිදුරටත් කියා සිටියේය.

පොහොර ප්‍රශ්නය අද රටේ විශාල අර්බුදයක් නිර්මාණය කිරීමට සමත් වී ඇති බව කී ඒ මහතා රසායනික පොහොරවල පවතින නයිට්‍රජන් ප්‍රමාණය සියයට 48ක් වුවද කාබනික පොහොරවල එම නයිට්‍රජන් ප්‍රමාණය වන්නේ සියයට හතක් හෝ අටක ප්‍රමාණයක් බවත්, ඒ අනුව කාබනික පොහොර ගොවියා භාවිත කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැගී තිබෙන බවත් කීය.
කාල රාමුවක් නොමැතිව කාබනික පොහොර යෙදීමට කටයුතු කිරීමෙන් ගොවියා මෙන්ම ගොවිතැනද ආගාධයට ගොස් තිබෙන බව රාජ්‍ය ඇමැතිවරයා කියයි. වහාම මේ සඳහා පිළියම් යෙදීමට කටයුතු යොදන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් කාබනික පොහොර ප්‍රශ්නය ආණ්ඩුවත් අපිවත් විනාශ කරන වැඩපිළිවෙළක් බවත් කියා සිටි ඒ මහතා ගෑස් මිල ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළයාම සත්‍යයක් බවද කීය. මැතිවරණයක් ළංවන විට සියයට කීයකින් හෝ භාණ්ඩ මිල අඩු කර ජනතාව හමුවට යාම කිසිසේත් අනුමත නොකරන බවද මෙහි දී අවධාරණය කළේය.

(Aruna)