Monday, May 06, 2024
Follow Us
බඩුමිල දරාගන්න බෑ කෝ මේ ආණ්ඩුවෙ ජනතා වගකීම - ජගත් කුමාර

මේ වනවිට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවත්, මෙවැනි අවස්ථාවක හෝ ජනතාවට සහනාධාර ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ජනතාව කබලෙන් ලිපට නොව ලිපෙනුත් පහළට වැටෙනු ඇති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. අවම වශයෙන් ඉදිරි අයවැයෙන් හෝ ජනතාවට දැනෙන සහනයක් ලබාදිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වුවද මෙවැනි අවස්ථාවක ජනතාවගේ පැත්තේ සිටිමින කතා කිරීමට සිදුවන බවත්, මෙවැනි ආකාරයට බඩුමිල පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වුවහොත් මතුවන තත්වය සිතාගත නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. මිල පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතු බවද ඔහු පෙන්වා දෙනවා.

අවම වශයෙන් සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් සඳහා හෝ සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් තබා ගනිමින් බහුතර ජනතාව ආණ්ඩුව බලයට පත්කළ නමුත් පළමු අවස්ථාවේ සිටම කොරෝනා වසංගතයට මුහුණදීමට සිදු වූ බැවින් ජනතාව වෙනුවෙන් බලාපොරොත්තු වූ බොහෝ දේ ඉටු කිරීමට නොහැකි වූ බවද ජගත් කුමාර මහතා පවසනවා. මේ තත්වය හේතුවෙන් ජනතාව යම් අප්‍රසාදයකින් පසුවන බව ජනාධිපතිවරයාද තේරුම් ගෙන සිටින බවයි ඔහු පවසන්නේ.

(LNW)