ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් විසින් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් බාර දී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා සමග කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට අදාලව හදිසියේ අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණයි. අදාල ගිවිසුම සම්බන්ධයෙන් යලි සලකා බලන්නැයිද පක්ෂ නායකයන් සිය ලිපියෙන් ඉල්ලා තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් සහ අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි අදාල ලිපියට අත්සන් තබා තිබේ.
මෙම ගිවිසුම අත්සන් කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව පූර්ව දැනුම්දීමකින් සහ ඇමතිවරුන්ගේ එකඟතාවයකින් තොරව සම්මත වී ඇති බවත්, කැබිනට් ඇමතිවරුන් තිදෙනෙකු අදාල කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉල්ලා කැබිනට් මණ්ඩලයට ලිපියක් යොමුකර ඇති බවත් හවුල්කාර පක්ෂ නායකයන් පවසනවා. මෙවැනි බරපතල ගිවිසුමක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය මනාව දැනුවත් වියයුතු බවත්, එසේ සිදු නොවීම කණගාටුවට කරුණක් බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.
මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබාදෙන ලෙස පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
(LNW)