Sunday, July 06, 2025
Follow Us
ජමාතේ ඉස්ලාම් සංවිධානයෙන් ආණ්ඩුවට ලාභ ප්‍රයෝජන ලැබෙනවාද?

ජනවරම ලැබුණු අරමුණ ආණ්ඩුවට අමතක වෙලා


වර්තමාන ආණ්ඩුවට අති විශාල ජනවරමක් ලබාදී ඇත්තේ ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමේ අරමුණින් වුවද මේ වන විට ඔවුන්ට එම අරමුණ අමතක වී ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට තවමත් ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන නිසාදැයි ආණ්ඩුවෙන් විමසන බව එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

අන්තවාදය පරාජය කිරීමට සුදුසුම අවස්තාවක් ලැබී ඇති විට ඒ සඳහා අවධානය යොමු නොකොට තම සංවිධානයට විවේචන එල්ල කිරීමට පමණක් ඇතැමුන් කටයුතු කරන බව උන්වහන්සේ කියා සිටියහ. ඒ හිමියන් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ (ඊයේ 05 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. දැන හෝ නොදැන කතෝලික සභාව ද ඉස්ලාම් අන්තවාදී සංවිධානවල උගුල්වලට හසු වන බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේය. ඥානසාර හිමියන් කියා සිටියේ ආණ්ඩුව අන්තවාදය මර්දනයට යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමට සුදානම් වුවද එක් එක් සංවිධාන සහ දේශපාලනික කණ්ඩායම්වල ප්‍රකාශයන් නිසා එම ක්‍රියාමාර්ග ගැනීමට කල් ගන්නා බවය.

විවධ ගැටලු සම්බන්ධයෙන් උද්ඝෝෂණ සිදුකිරීමට මෙරටේ ඕනෑ තරම් සංවිධාන, වෘත්තීය සමිති පෙනී සිටියත් මෙම අන්තවාදය මර්දනය වෙනුවෙන් එක් වචනයක් හෝ කතා කිරීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවන අවස්තාවක ඒ වෙනුවෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වූවේ බොදු බල සේනා සංවිධානය පමණක් බව ද ඒ හිමියෝ මෙහිදී පවසා සිටියහ.

කනගාටුවට කරුණ නම් ඇතැම් සංඝයා වහන්සේලා පවා දැන් ඉදිරිපත් වන්නේ අන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අනුර කුමාර දිසානයක වැනි පුද්ගලයන් වෙනුවෙන් බව ඥානසාර හිමියන් අවධාරණය කළහ. එම ස්වාමින් වහන්සේලා දැන් පිළිගන්නේ අනුර කුමාරගේ බණ මිස බුදු බණ නොවන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

(Aruna)